සිංහරාජ වනාන්තරය සම්බන්ධයෙන් හිටපු ජනපති අත්සන් තැබූ ගැසට් නිවේදනය වසරකට පසුව අද නිකුත් වෙයි

November 15, 2020 at 11:00 PM

සිංහරාජ වනාන්තරයේ වපසරිය තුන් ගුණයකින් වැඩි කරමින් මීට වසරකට පෙර හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අත්සන් තබන ලද අති විශේෂ ගැසට් නිවේදනය අද දින මුද්‍රණය කොට ප්‍රසිද්ධියට පත් කොට තිබෙනවා.

එම ගැසට් නිවේදනය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ ෆේස්බුක් ගිණුමේ තබා තිබු සටහනයි මේ,

” පළමුව උතුම් පරිසරය සුරැකීම වෙනුවෙන් පෙනී සිටින පරිසරවේදීන් සහ පරිසරයට ආදරය කරන සියලු දෙනාටම මාගේ ගෞරවය සහ උපහාරය…..

මතු උපදින දරුවන් වෙනුවෙන් මේ උතුම් මිහිතලය මතු අනාගතය වෙනුවෙන් ආරක්ෂා කිරීම අප සැමගේ යුතුකම සහ වගකීම වන්නෙමු.

අද දිනය මිහිතලයට ආදරය කරන මා මෙන්ම උතුම් හදවත් ඇති මිනිසුන් සැමට සතුටු විය හැකියි දවසකි.

මීට වසරකට ඉහත දි මා ජනාධිපති ධුරයෙන් නික්මයාමට දින කිහිපයකට ප්‍රථම මුළු මහත් විශ්වයේම පැවැත්මට ජීවය ගෙන දුන් ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය නම් කළ තෙත් සදාහරිත වැසි වනාන්තරයක් වන සිංහරාජ වනාන්තරයේ වපසරිය තුන්ගුණයකින් පුළුල් කොට අති විශේෂ ගැසට් නිවේදනයකින් සිංහරාජ අවට වන පද්ධතිය සිංහරාජ වනාන්තරයට එක් කරන ලදී.

හෙක්ටෙයාර් 11000 සීමාවී තිබූ සිංහරාජ වනාන්තරය හෙක්ටයාර 36474.93 ක ප්‍රමාණයකට මා විසින් වැඩි කරන ලදී.මෙම තීරණය උතුම් මාතෘභූමියේ දිවි පැවැත්මටත් මුළු මහත් ලෝකයේ මානව,සත්ව සහ තුරු ලතා ස්වභාව ධර්මයේ පැවැත්ම උදෙසා මා එක සිතින් ගත් තීරණයකි.

මීට වසරකට ඉහතදී මා මෙම විශේෂ ගැසට් පත්‍රයට අත්සන් තැබුවත් එය මුද්‍රණය ප්‍රමාද වූ හේතුවෙන් ජනතාවට දැකබලා ගැනීමට සහ පරිශීලනය කිරීමට නොහැකිවිය.

එම ප්‍රමාද වීම පිළිබඳව අවස්ථා ගණනාවක දී බලධාරීන් සමග මා දුරකථනයෙන් විමසු අතර හැකි ඉක්මනින් එය ඉටු කර දෙන බව මා වෙතට කාරුණිකව ප්‍රකාශ කරන ලදී.

වසරකට පසු එම ගැසට් පත්‍රය මුද්‍රණය කොට ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයෙන් කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙමි.

අදටත් ලෝව විශාලතම තෙත් සදාහරිත වැසි වනාන්තර 10ය තුළට ඇතුළත් සිංහරාජ වනාන්තරය සංරක්ෂණය කොට එහි ප්‍රමාණය වර්ධනය කිරීමට නිරන්තරයෙන් මා සමග අදහස් බෙදා ගත් සියලුම පරිසරවේදීන්ට සහ පරිසරයට ආදරය කරන දෙස් විදෙස් සියලුම මානව හිතවාදී මිනිසුන්ට මේ මොහොතේ මා ස්තුතිවන්ත වෙමි.

මීට අමතරව පරිසරය වෙනුවෙන් මා අත්සන් තැබූ (මුද්‍රණය කොට නොමැති) තවත් විශේෂ ගැසට් පත්‍ර 65 නුදුරේ දී ජනතාවට දැකබලාගැනීමට ප්‍රසිද්ධ කරනු ඇතැයි මා විශ්වාස කරමි”.