මුල්ලේරියාව රෝහලේ PCR යන්ත්‍රයට යොදන රසායන ද්‍රව්‍ය අවසන් : PCR පරීක්ෂණ පැය 24ක් ප්‍රමාදයි

November 15, 2020 at 5:01 PM

කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ සිදුකිරීමට මුල්ලේරියාව මුලික රෝහලේ ස්ථාපිත කොට ඇති PCR යන්ත්‍රයට ක්‍රියා කිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය නොමැතිවීම හේතුවෙන් පරීක්ෂණ සිදුකිරීමේ ප්‍රමාදයක් හටගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

සිදුකළ විමසීමකදී ඔහු සඳහන් කළේ මෙම PCR යන්ත්‍රය සඳහා යොදා ගැනීමට අවශ්‍ය රසායන ද්‍රව්‍ය නොමැති වීමෙන් පසුගිය පැය 24ක කාලය තුලදී PCR පරීක්ෂණ සිදුකිරීමේ යම් ප්‍රමාදයක් හටගෙන ඇති බවයි.

ඒ අනුව එම රසායනික ද්‍රව්‍ය ලබා ගනු ලබන හොංකොං රාජ්‍යයෙන් අදාළ මිලදී ගැනීම් සිදුකර ඇති බවත් ඉදිරි පැය 24 තුලදී අදාළ එම රසායන ද්‍රව්‍ය මෙරටට ගෙන්වීමට අවශ්‍ය කටයුතු සිදුකොට ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියේ.

දිනක් තුලදී මෙරට වැඩිම PCR පරීක්ෂණ ප්‍රමාණයක් සිදුකරනු ලබන්නේ ද මෙම යන්ත්‍රය මගින් වීමද විශේෂත්වයක්.