වාර්තා තබමින් ඊයේ දිනයේදී අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් 180,000ක් : රට කිසිසේත් නොවසන බව ට්‍රම්ප් ගෙන් ප්‍රකාශයක්

November 14, 2020 at 2:56 PM

දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඊයේ දිනයේදී අමෙරිකාවෙන් වාර්තා වූවා. ඊයේ දිනයේදී එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 183,527ක් වන අතර පුද්ගල මරණ 1,395ක් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටිනවා.

දිනෙන් දින ආසාදිතයින් වැඩිවන පසුබිමක තමා කිසිවිටෙකත් අමෙරිකාව අගුලූ දැමීමට ලක් නොකරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ, ජනාධිපතිවරණ පරාජයෙන් පසු පළමුවරට ජනතාව හමුවේ අදහස් දක්වමින්.

කෙසේ වෙතත්, ලබන ජනවාරි මාසයේදී වෙනත් පරිපාලනයක් යටතට අමෙරිකාව පත් වුවහොත් රට අගුලූ දැමීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවත්, එය කාලය විසින් තීරණය කරනු ඇති බව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේදී ලොවපුරා කොරෝනා ආසාදිතයින් 656,455ක සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. එය දිනක් තුල වාර්තා වූ වැඩිම ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

අමෙරිකාවෙන් ඊයේ දිනයේදී කොවිඩ් මරණ 1,395ක් වාර්තා වූ අතර ප්‍රංශයෙන් මරණ 932ක්, බ්‍රසීලයෙන් මරණ 614ක්, මෙක්සිකෝවෙන් 626ක් සහ ඉතාලියෙන් මරණ 550 ක් වාර්තා වී තිබෙනවා. ඊයේ දිනයේදී වාර්තා වූ ගෝලීය මරණ සංඛ්‍යාව 9,945ක්.

ලොව දෙවැනියට වැඩිම ආසාදිතයින් වාර්තා වී තිබෙන අසල්වැසි ඉන්දියාවෙන් ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතයින් 45,343ක් සහ මරණ 539ක් වාර්තා වුවා.

ඊයේ දිනයේදී ඉතාලියෙන් කොරෝනා ආසාදිතයින් 40,902ක්, ප්‍රංශය 23,794ක්, බ්‍රසීලයෙන් 35,849ක් එංගලන්තයෙන් 27,301ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.