කොවිඩ් වැළදී මහ මග මිනිසුන් මියයන බවට අසත්‍ය පුවත් පලකළ පුද්ගලයෙකු කඩුගන්නාවේදී CID අත්අඩංගුවට

November 14, 2020 at 10:45 AM

කොවිඩ් ආසාදනය වී මහ මග වැටී පුද්ගලයින් විශාල ප්‍රමාණයක් මියගිය බවට පවසමින් සමාජ මාධ්‍යයේ අසත්‍ය පුවත් පලකළ කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකය විසින් මෙම විමර්ෂණය සිදුකරනු ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා ගරාජයක් පවත්වාගෙන යනු ලබන අයෙක් බවත් ඔහුට එරෙහිව නිරෝධායන පනත යටතේ සහ අසත්‍ය පුවතක් ප්‍රචාරය කිරිම හා මහාජනයා අනිසි ලෙස බියට පත්කිරිමේ චෝදනාවන් යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.

සමාජ මාධ්‍ය මෙවැනි අසත්‍ය පුවත් පලකල සහ ඒවා හුවමාරු කළ තවත් පුද්ගලයින් සිව්දෙනෙකු ගැන ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මෙවැනි අසත්‍ය පුවත් පළකිරීමෙන් හෝ ඒවා හුවමාරු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් අසත්‍ය තොරතුරු හුවමාරු කිරිමෙන් වළකින ලෙසද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මෙහිදී මහජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරනු ලැබුවා.