PCR පරීක්ෂණ ඉල්ලා බෝගම්බර රැඳවියන් විරෝධතාවයක (VIDEO)

November 12, 2020 at 1:15 PM

පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වහලය මත නැගී විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

බන්ධනාගාර රැඳවියන් නිරෝධායනය කිරීම සඳහා එම බන්ධනාගාරය මේ වන විටත් බලධාරීන් විසින් වෙන්කර ඇත.

එහි රැඳවියන් 800කට ආසන්න ප්‍රමාණයක් නිරෝධායනය සඳහා යොමුකර ඇති අතර ඉන් රැඳවියන් 30කට හා නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.

එවන් තත්ත්වයක් තුළ තමන්ට ද කොරෝනා ආසාදනය වීමේ වැඩි ඉඩක් පවතින් බැවින් තමන්ට ඉක්මනින් පීසීආර් පරීක්ෂණ සිදුකරන ලෙසත් එසේ නොමැති නම් වෙනත් බන්ධනාගාරයකට මාරු කරන ලෙසත් විරෝධාතාවයේ නිරත රැඳවියන් ඉල්ලා සිටී.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය පිළිතුරු දෙමින් සඳහන් කළේ, බෝගම්බර බන්ධනාගාරයේ මේ වන විට 350 ක පමණ පිරිසකගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකර අවසන් බවය.

අද දිනයේදීත් 100ක පමණ පිරිසකගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේ.

විරෝධතාවයේ නිරත රැඳවියන් මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් සිරගතව සිටින අතර ඔවුන් කොළඹට පැමිණීමේ අපේක්ෂාවෙන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා පැවසීය.

පවතින තත්ත්වය හමුවේ රැඳවියන් කඩිනමින් කොළඹට මාරුකර හැරීමට අවස්ථාවක් නොමැති බව ද ඔහු කියා සිටියේ.