සති අන්තයේ ඇඳිරි නිතිය පැනවීමට බලාපොරොත්තුවක් නැහැ : සෘජුව කොවිඩ් නිසා වාර්තා වී ඇත්තේ මරණ 05ක් පමණයි – හමුදාපති

November 12, 2020 at 11:02 AM

සති අන්තයේදී ඇඳිරි නිතිය පැනවීමට මේ වන විට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. යම් ප්‍රදේශයක කොරෝනා ආසාදිතයින් හමුවීමක් සිදුවුවහොත් එම ප්‍රදේශ හුදෙකලා කිරීමක් හෝ අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට පියවර ගන්නා බවයි හමුදාපතිවරයා පවසා සිටියේ.

උතුරු කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ බටහිර ප්‍රදේශයට වන්නට කොරෝනා ආසාදිතයින් හමුවී ඇති බව පැවසූ හමුදාපතිවරයා බස්නාහිර පලාතෙන් පිට වෛරසයේ ව්‍යාප්තිය පාලනයකින් යුතුව පවත්වාගන යෑමට සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ සමත්ව ඇති බව කියා සිටියා.

පසුගිය දින කිහිපයේදී කොවිඩ් මරණ වාර්තා වීමේ වැඩිවීමක් දක්නට ලැබීම සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් විමසු පැනයකට පිළිතුරු දෙමින් යුද හමුදාපතිවරයා කියා සිටියේ සෘජුව කොවිඩ් වෛරසය හේතුවෙන් මෙරට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 05 දෙනෙක් පමණක් බවත් සෙසු මියගිය පුද්ගලයින් ගේ මරණයට හේතුව ඔවුන්ට පැවති නිධන්ගත රෝග හේතුවෙන් ඇතිවූ සංකුලතා නිසා බවට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටි බවයි.

” පසුගිය දිනවලදී අපි දුටුවා පිළිකා රෝගය ඇතුළුව විවිධ රෝග හේතුවෙන් ඇදටම සීමාවී සිටින පුද්ගලයින්. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කිසිම අයෙකුට රෝගා බාධයක් ඇත්නම් සැඟවී සිටීමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. අපේ රටේ පවතින්නේ විශිෂ්ඨ සෞඛ්‍ය සේවයක්. ඒ නිසා යම් සෞඛ්‍ය අපහසුතාවයක් ඇත්නම් වහාම අදාළ අංශ සමග සම්බන්ධ වෙන්න” මෙහිදී හමුදාපතිවරයා සඳහන් කර සිටියා.

බස්නාහිර පළාතෙන් පිටව යෑම ඊයේ රාත්‍රියේ සිට තහනම් කළා. ඒ වගේම අපි සෙසු දිස්ත්‍රික්කවල ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා සෑම අවස්ථාවකම තමන්ගේ අත්‍යවශ්‍ය කටයුත්තකට හැර සිය ගම් ප්‍රදේශවලින් පිටව යෑම සීමා කරන්න කියා ඉල්ලා සිටිනවා යැයි මෙහිදී හමුදාපතිවරයා ප්‍රකාශ කළා.