වසංගත මරු කටේ දී පවා සෞඛ්‍යයට වෙන් කරන මුදල් කප්පාදු කරලා – රසික ජයකොඩි

November 12, 2020 at 4:23 PM

කොරෝනා වසංගතය නිසා සමස්ත සමාජය ම අඩපණ වී ඇති මොහොතක පවා සෞඛ්‍යය අංශය සඳහා අයවැයෙන් වෙන් කරන මුදල කප්පාදු කිරීමට මේ රජය පියවර ගෙන ඇති බව ඔබ සමගි තරුණ බලවේගයේ ප්‍රචාරක ලේකම් රසික ජයකොඩි ප්‍රකාශ කළේ ය.

“2021 පුනරාවර්තන වියදම්වලට අනුව සෞඛ්‍යය සඳහා වෙන් කොට ඇති මුදල රුපියල් බිලියන 159ක්. පසුගිය අයවැයෙන් ඒ සඳහා වෙන් කළ මුදල රුපියල් බිලියන 188ක්. ඒ අනුව ගිය වසරට වඩා මේ වසරේ රුපියල් බිලියන 29කින් සෞඛ්‍යයට වෙන් කළ මුදල් කප්පාදු කොට තිබෙනවා. ගිය වසරේ වසංගත අනතුරක් මේ රටේ නොතිබුණු අතර මේ වන විට අපි මෑත ඉතිහාසයේ මුහුණ දුන් දැවැන්ත ම ගෝලීය වසංගතයට මුහුණ දී සිටිනවා.

මේක තව ටිකක් පැහැදිලිව තේරුම් ගැනීම සඳහා ආරක්ෂාව සහ මහාමාර්ග වැනි අංශ සඳහා වෙන් කොට ඇති මුදල් ප්‍රමාණ විමසා බැලිය යුතුයි. මේ සඳහා රුපියල් බිලියන 355කුත් මහාමාර්ග සඳහා රුපියල් බිලියන 335කුත් ඊළඟ වසර සඳහා වෙන් කොට තියනවා. ඒ කියන්නේ සෞඛ්‍යය සඳහා වෙන් කොට ඇති මුදල මහාමාර්ග සඳහා වෙන් කොට ඇති මුදලින් බාගයකටත් අඩු බවයි. මහාමාර්ග සෑදීම සඳහා ආණ්ඩුවේ සමහරුන්ට ඇති නොසන්සිඳෙන ආශාව අපට තේරුම් ගත හැකි වුවත් මිනිස් ජීවිත එයින් අලුක්කාලක් තරම්වත් වටින්නේ නැද්ද?

මේක වහගන්න අයවැය විවාදයේ දී ආණ්ඩුව ඉදිරිපත් කරන්න පුළුවන් දුර්වල තර්කයක් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයට අමතරව මහාචාර්ය චන්න ජයසුමන ගේ රාජ්‍ය අමාත්‍යාංශයටත් දේශීය වෛද්‍ය අමාත්‍යංශයටත් මුදල් වෙන් කරලා තියන බව. නමුත් මේ අමාත්‍යාංශ දෙක කෝවිඩ් කළමනාකරණයේ දී දක්වලා තියෙන දායකත්වය මොකක්ද? එම අමාත්‍යාංශ සඳහා වෙන් කරන මුදල් වසංගතය කළමනාකරණය කිරීම සඳහා ඵලදායී අන්දමින් භාවිතා වෙයි කියලා දැනට එම ඇමතිවරුන් කරලා තියන වැඩ දිහා බැලුවම හිතන්න බෑ.

දවසකට කෙතරම් කොරෝනා රෝගීන් අලුතෙන් හමු වුවත්, මිනිසුන් වසංගතයට ගොදුරු වී මහ පාරේ හෝ ගෙවල්වල මිය ගියත්, ජනතාවගේ රැකියා හා ආදායම් මාර්ග අහිමි වී කාබාසිනියා වුවත් අපේ ආණ්ඩුව පාඩම් ඉගෙන ගන්නේ නැති බවට තවත් උදාහරණ අවශ්‍ය ද?” යැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.