මුහුද ගොඩ ගලයි : යාපනයේ ගම්මාන කිහිපයක නිවාස මුහුදු ජලයෙන් යටවෙයි

November 12, 2020 at 6:51 AM

මුහුදු ජලය ගොඩ ගැලීම නිසා යාපනයේ කොලූම්පුතුරෙයි නාගදීපය, වේලනෙයි හා කුරීකඞ්ඩුවාන් යන ප‍්‍රදේශවල වැසියෝ පෙරේදා (10 දා) සිට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටියි.

කොලූම්පුතුරෙයි ඇතුළු ගම්මාන කීපයක නිවාස මුහුදු ජලයෙන් යට වී ඔවුන්ට නිවෙස් තුළ ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති අතර යාපනයේ පවුල් 57 කට අයත් පුද්ගලයෝ 172 ක් මේ වන විට එම තත්ත්වයට මුහුණ පා සිටියි.

යාපනයේ නාගදීපය ඇතුළු ප‍්‍රදේශ කීපයක මුහුදු ජල මට්ටම ඉහළ ගොස් පිටාර ගලන ජලය මාර්ගවලට එක්වීම නිසා ගමනාගමන කටයුතුවලට බාධාවන් එල්ල වී තිබේ. යාපනය කූරිකඞ්ඩුවාන් මාර්ගයේ ස්ථාන කීපයක්ද මුහුදු ජලයෙන් යට වී තිබේ. දින දෙකක් මේ ප‍්‍රදේශයට ඇද හැලූණු වර්ෂාව නිසා මේ තත්ත්වය උදා වී ඇති අතර මුහුදු ජලයෙන් නිවාස යට වූ පිරිස වෙනත් තාවකාලික ස්ථානවලට පැමිණ තිබේ.