කෝටි ගණනක් වටිනා රථ වාහන කාර්යාල භූමි වල දිරාපත් වෙනවා. වහාම මේ ගැන වාර්තාවක් ලබාදී අළුත්වැඩියා කර භාවිතයට ගන්න – අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

November 11, 2020 at 5:22 PM

දිවයිනපුරා මාර්ග සංවර්ධන අධිකාරියට හා මග නැගුම ආයතනයට අයත් කාර්යාල භූමි තුල කෝටි ගණනක් වටිනා කාර්, කැබ් රථ, ජීප් රථ, ටිපර් රථ, එස්කැවේටර්, ඩෝසර් ඇතුළු රථ වාහන හා මාර්ග සංවර්ධනයට යොදා ගන්නා යන්ත්‍රෝපකරණ දිරාපත් වන්නට ඉඩ හැර ඇති බවත් වහාම මෙම වාහන අළුත් වැඩියා කර භාවිතයට ගන්නා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති හා මගනැගුම මාර්ග ඉදිකිරිම් හා යන්ත්‍රෝපකරණ සමාගමේ සභාපතිවරයාට නියෝග කරන ලදී.

පසුගිය යහපාලන රජය සමයේ මෙම වාහන හා යන්ත්‍රෝපකරණ පිළිබදව සොයා නොලැබීම නිසා වල් බිහිවී විනාශ වී ඇති බව අමාත්‍යවරයා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කලේ මගනැගුම මාර්ග ඉදිකිරිම් හා යන්ත්‍රෝපකරණ සමාගමේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාල වල හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

මෙම යන්ත්‍රෝපකරණ මේ ආකාරයෙන් විනාශවීම ජාතික අපරාධයක් බව සදහන් කල ජොන්ටන් ප්‍රනාන්දු මහතා සියළුම වාහන හා යන්ත්‍රෝපකරණ පිළිබදව වාර්තාවක් හා එහි වටිනාකම්ද තක්සේරු කර තමන් වෙත ලබා දෙන ලෙස මගනැගුම මාර්ග ඉදිකිරිම් හා යන්ත්‍රෝපකරණ සමාගමේ සභාපතිවරයාට, අමාත්‍යවරයාගේ ලේකම් මෙහොමඩ් ශාකීර් මහතාට හා මාර්ග සංවර්ධන අධිකාරියේ යාන්ත්‍රික අධ්‍යක්ෂවරයාට නියෝග කලේය.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ අමාත්‍යවරයා රථ වාහන හා යන්ත්‍රෝපකරණ නිරීක්ෂණය කරන ආකාරයයි.