අදත් කොරෝනා ආසාදිතයින් 305ක් : පොලිසියේ කොරෝනා ආසාදිතයින් ගණන 460 ඉක්මවයි 

November 10, 2020 at 7:02 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 305 දෙනෙකු හඳුනා ගත් බවත් එම සියලු ආසාදිතයින් පළමු ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 14,590 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9,537ක් වනවා. මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5017ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

මේ වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ඇතිවූ කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 11,108ක් වේ.

මේ අතර වත්තල ප්‍රදේශයේ පිහිටි සෙල්ලම් බඩු කර්මාන්ත ශාලවේ කොවිඩ් වෛරසය ආසාදනය වූ සේවකයින් සංඛ්‍යාව අද වන විට 176ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා. එමෙන්ම හොරණ ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් ආසාදිත සේවකයින් සංඛ්‍යාව 213ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර කොරෝනා වෛරසය ආසාදිතවූ පොලිස් දෙපාර්තමේන්තුවේ සමස්ත නිලධාරීන් සංඛ්‍යාව 467දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇත. එම පිරිස අතරට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 145 දෙනෙකුද අයත් වනවා.

මිට අමතරව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයට අනියුක්තව සේවය කරනු ලබන නිලධාරීන් 19 දෙනෙකුට ද අද දිනය වන විට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවයි කොරෝනා -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටින්නේ.