කොරෝනාවට බියේ බස් රථ රියදුරෙක් ගෙළ වැලලාගෙන මියයයි

November 9, 2020 at 7:31 AM

කොරෝනා ආසාදිතව මරණයට පත්වේ යැයි පැවති බිය හේතුවෙන් පසුගියදා නාගොඩ රෝහල් කාර්ය මණ්ඩලය ප‍්‍රවාහනය සිදුකළ ලංගම බස් රථයේ රියැදුරු ඊයේ (08) අලූයම තම නිවස ඉදිරිපිට මාර්ගය අසල රබර් ගසල ගෙළ වැලලාගෙන මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ගොඩඋඩහේන, යටියන, අගලවත්ත පදිංචි බී. වී. සරදියල් නමැති 56 හැවිරිදි කළුතර ලංගම ඩිපෝවේ රියැදුරෙකු වූ දෙදරු පියෙකි. ඔහුගේ පුතා ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරන අතර දියණිය අධ්‍යාපනය හදාරමින් සිටීයි.

” මහත්තයා හැමදාම උදේ පහට නැගිටිනවා. අදත් උදේ බලනකොට දොර බාගෙට ඇරලා. හොයලා බලද්දී හිටියේ නෑ. පස්සේ යාළුවෙකුට කතා කරලා ඇහුවා එහෙ ආවද කියලා. මහ ගෙදරිනුත් ඇහුවා ඒ කොහෙවත් ගිහින් නෑ. හැම තිස්සේම කොරෝනා ගැන කියවනවා. බස් ඩ‍්‍රැයිවර්ලට හැදුන එකට බියෙන් හිටියේ. හෙට වැඩට යන්නත් බෑ කිව්වා. කලින් එයා ස්කූල් බස් එකේ වැඩ කළේ. කොරෝනා නිසා මතුගම ඉඳන් නාගොඩ රෝහලේ අයව අරන් ගියා. ඊයේ ආරංචි වුණා ඒ බස් එකේ කාටද කොරෝනා කියලා. මෙයා ඒකට බය වෙන්න ඇති.” ඊයේ සවස සිද්ධිය වූ ස්ථානයේදී මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණයට සාක්ෂි ලබාදෙමින් මියගිය අයගේ බිරිඳ පවසා සිටියා.

මතුගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.

( මුලාශ්‍ර – දිවයින පුවත්පත)