හුදෙකලා ප්‍රදේශවල සිටින පුද්ගලයින්ට රැකියා සඳහා යාමට අවසර නැහැ : අධිවේගී මාර්ග පිවිසුම්ද හෙට විවෘත කරයි

November 8, 2020 at 5:02 PM

හුදෙකලා කොට ඇති ප්‍රදේශවල සිටින ජනතාවට එම ප්‍රදේශ යළි යථාතත්ත්වයට පත්ව ඇති බවට දන්වනතුරු සිය රැකියාවන් සඳහා පිටත්ව යැමට අවසර හිමිනොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

මෙලෙස හුදෙකලා කොට ඇති ප්‍රදේශවල සිටින අත්‍යාවශ්‍ය සේවා කටයුතු වලට සම්බන්ධ පුද්ගලයින්ට වුවද සිය රාජකාරී ස්ථාන කරා යාමට අවසර හිමි නොවන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා අද සවස පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

” ඔබ අත්‍යාවශය සේවාවලට සම්බන්ධ පුද්ගලයෙකු වුවත් හුදෙකලා කොට ඇති ප්‍රදේශයක සිටිනම් රැකියාවන් සඳහා පිටව යෑමට අවසර හිමිවන්නේ නැහැ. හුදෙකලා කොට ඇති ප්‍රදේශවල පිහිටි සුපිරි වෙළෙදසැල්, අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ අලෙවිසැල් වලට හැකියාව තිබෙනවා පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ඇණවුම් අනුව ඩිලිවරි පහසුකම් යටතේ ගෙන ගොස් භාර දීමට” නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම බස්නාහිර පළාතට පැනවූ ඇඳිරි නීතිය හේතුවෙන් සීමා කොට තිබු අධිවේගී මාර්ග පිවිසුම් හෙට අළුයම සිට යලි විවෘත කරන බවද මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් කියා සිටියා.