“කොරෝනා හමුවේ මාධ්‍යවේදීන් විශාල කැපකිරීමක් කරනවා – අඩුම තරමේ දායක විශ්‍රාම වැටුපවත් ඔවුන්ට දෙන්න” : රසික ජයකොඩි

November 3, 2020 at 3:39 PM

කොරෝනා වසංගතය හමුවේ සියලු මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් සිදු කරන අසීමිත කැපකිරීම සැලකිල්ලට ගෙන හෝ 2005 වසරේ සිට ක්‍රියාත්මක නොවී පවතින මාධ්‍යවේදී විශ්‍රාම වැටුප් පනත දැන්වත් බලාත්මක කරන ලෙස සමගි තරුණ බලවේගයේ ප්‍රචාරක ලේකම් රසික ජයකොඩි රජයෙන් ඉල්ලා සිටියේ ය.

මෙම පනත 2005 මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ දී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන කාලයේ දී පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද අතර එතැන් සිට තවමත් මෙය ක්‍රියාත්මක නොවී පවතී.

2005 වසරේ දී මහින්ද රාජපක්ෂ බලයට පත්වී කෙටි කලක් තුළ ජනමාධ්‍යවේදීන් සදහා වූ සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ යෝජනා ක්‍රමය පනත පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකින් තොරව සම්මත කර ගැනුණු අතර පනතට කතානායකවරයා අත්සන් තැබීමෙන් පසු ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රි ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, සමාජ ආරක්ෂණ මණ්ඩලය එක්ව අයදුම් කැදවීමද සිදු කෙරුණි. මේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික ධනය ලෙස ඒකාබද්ධ අරමුදලෙන් රුපියල් මිලියන තිහක් ගෙවිය යුතු බවට පනතෙහිම සඳහන් වුවත් එකී මිලියන තිහ සමාජ ආරක්ෂණ මණ්ඩලයට මුදා හැරියේ නැත.

වෘත්තීය පත්‍ර කලාවේදීන් ගේ සංගමයේ ප්‍රමුඛ කාර්යභාරයක් සිදු කළ පෝද්දල ජයන්ත, සනත් බාලසූරිය වැනි මාධ්‍යවේදීන් මෙම පනත සම්මත කරගැනීම සඳහා විශාල කැපකිරීමක් සිදු කළ බව පැවසූ ප්‍රචාරක ලේකම්වරයා වසර පහළොවක් තිස්සේ මෙම පනත හමස් පෙට්ටියට දමා තිබීම මාධ්‍යවේදීන්ට සිදු කරන ලද බලවත් අසාධාරණයක් බව ද ප්‍රකාශ කළේ ය.

“මෙම රුපියල් මිලියන 30ක මුදල සමාජ ආරක්ෂක මණ්ඩලයට මුදා හරින්නේ නම් හෙට වුවත් මෙම මාද්‍යවේදී විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කළ හකියි. මාධ්‍යවේදීන් යනු මේ රටේ දරුණුතම සූරාකෑමකට ලක් වෙන කොටසක්. ඔවුන්ගේ වැටුප් තල අතිශයින් ම අසාධාරණයි. කොපමණ බාධක සහ අභියෝග මැද රාජකාරි කළත් අවසානයේ දායක විශ්‍රාම වැටුපක හිමිකමවත් ඔවුන්ට නෑ. එමනිසා අප රජයෙන් ඉල්ලා සිටින්නේ මේ මොහොතේ ඔවුන් කරන කැපවීම සැලකිල්ලට අරගෙන හරි මෙම මුදල සමාජ ආරක්ෂණ මණ්ඩලයට ලබා දීලා මේ පනත ක්‍රියාත්මක කරන්න කියලා,” යැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.