රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවකයෙකුට කොරෝනා

October 28, 2020 at 8:33 PM

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවකයකු කොරෝනා ආසාදිතයකු බව තහවරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම පුද්ගලයා දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායක වරයෙකි. ඔහු පසුගිය 16 දා පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයට ගොස් ඇතැයි අනාවරණය වී තිබේ. පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයට ගිය පුද්ගලයන්ට පීසීආර් පරීක්ෂණයකට ලක්වන ලෙස පැවසුව ද ඔහු ඒ බව නොදන්වා කාර්යාල භූමියේ රැඳී සිටි බවත් දෙපාර්තමේන්තුවේ ම එක් අංශයක රාත්‍රිය ගතකර ඇති බවත් වාර්තා වෙයි.

ඒ වනවිටත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු සඳහා පැමිණෙන නිලධාරීන් හා අනිකුත් සේවකය් ප්‍රමාණය සීමා කර තිබිණි. ආසාදිත පුද්ගලයා තමන්ට රාජකාරී සඳහා අදාල නොවන දිනයක දී ද කාර්යාලයට පැමිණ ඇතැයි ද දැනගන්නට ඇත.

මේ පුද්ගලයා මාළු වෙළෙඳ සංකීර්ණයට ගිය බවට වෙනත් අයකුගෙන් ලැබුණු තොරතුරක් මත ඔහු පිළිබඳ සොයා බැලීම් කිහිපයකින් අනතුරුව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් පීසීආර් පරීක්ෂණයකට යොමුකර තිබේ.

එම පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ ඔහු කොරෝනා ආසාදිතයකු බවයි. ඔහු මෙතෙක් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන නමුත් ඔහු සමග සෘජු සම්බන්ධතා පැවැත්වූ 40ක පමණ පිරිසක් පිළිබඳ අනාවරණය වී ඇති බවත් එම සියලු දෙනාම පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකරන බවත් සෞඛ්‍ය අංශ පවසයි.