කටුනායක – මත්තලට අධිවේගී දුම්රිය ව්‍යාපෘතියක්

October 27, 2020 at 7:51 AM

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ සිට කොළඹ වරාය නගරය දක්වාත්, කටුනායක සිට මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළ දක්වාත් විද්‍යුත් අධිවේගී දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීම වෙනුවෙන් ආයෝජන මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

ආයෝජන මණ්ඩල අනුමැතියත් සමග ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7ක් වෙන්කෙරෙන මෙම ව්‍යාපෘතියට අදාළ පුළුල් ශක්‍යතා අධ්‍යයනයක් ආරම්භ කිරීමට නියමිතය.

ආයෝජන මණ්ඩල වාර්තාවලට අනුව මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇත්තේ මීට පෙර වසර 10කට පමණ පෙරය. අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතියට අදාළ සැලසුම් බාධාවකින් තොරව ක්‍රියාත්මක වුවහොත්, ව්‍යාපෘතිය 2022දී ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇත.

මෙම ව්‍යාපෘතිය පිළිබඳ පුළුල් ආර්ථික හා තාක්ෂණික අධ්‍යයනයක් සිදුකිරීමට පෞද්ගලික උපදේශන ආයතනයක් වෙත පැවරීමට නියමිත අතර ඊට අදාළ ගිවිසුම මේ සතියේදී අත්සන් කිරීමට නියමිතය. මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ සභාපති ආචාර්ය පරිමලම් මයිකල් සඳහන් කරන ආකාරයට මීගමුවේ සිට කොළඹ වරාය නගරය දක්වාත්, දෙවන අදියරේ ගාල්ල සහ මාතර නැවතුම් ස්ථාන දෙකක් සහිතව මත්තල ගුවන්තොටුපොළ දක්වාත් ඉදිකිරීමට යෝජිතය. මෙම ව්‍යාපෘතිය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් (public – private partnership -ppp) යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත.