ප්‍රජා සම්ප්‍රේෂණය යනු කුමක්ද ?

October 25, 2020 at 11:30 AM

ප්‍රජා සම්ප්‍රේෂණය යනු කුමක්ද?

වසංගත තත්ත්වයකදී වඩාත්ම බරපතල අවධිය වන්නේ එහි ප්‍රජා සම්ප්‍රේෂණ අවධියයි.

සමාජය තුලින් රෝගීන් හදුනාගත් පමණින් එය ප්‍රජා සම්ප්‍රේෂණය ලෙස අර්ථගැන්විය නොහැකිය . ප්‍රජා සම්ප්‍රේෂණය ප්‍රකාශයට පත් කිරීම වසංගත රෝග දත්ත මත පදනම් වූ තාක්ෂණික තීරණයකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රජා සම්ප්‍රේෂණය පිළිබඳ නවතම අර්ථ දැක්වීම පහත පරිදි වේ;

ප්‍රජා සම්ප්‍රේෂණය:
==================

රෝගය සම්ප්‍රේෂණය වීම විශාල වශයෙන් සිදුවන බවට පහත සඳහන් සාධක පිලිබඳව සලකා බලමින් ද එයට සීමා නොවී ඉන් ඔබ්බට විමසමින් ද තහවුරු කරගත යුතුය :

රෝග සම්ප්‍රේෂණ දාමයට සම්බන්ධ නොවන රෝගීන් විශාල සංඛ්‍යාවක් හඳුනාගැනීමට හැකිවීම;
අහඹු ලෙස සිදුකරන රසායනාගාර සමීක්ෂණ හරහා රෝගීන් විශාල සංඛ්‍යාවක් සොයාගැනීම ; සහ / හෝ එකිනෙකට සම්බන්ධයක් නැති පොකුරු රැසක්
රට තුල ප්‍රදේශ කිහිපයකින් හඳුනා ගැනීම.

වර්ගීකරණය කුමක් වුවත්, සම්ප්‍රේෂණ දාමය බිඳ දැමීමට හදිසි පියවර ගත යුතු අතිශය බරපතල තත්වයකට ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටී.

අත් සේදීම, ශාරීරික දුරස්ථභාවය පවත්වා ගැනීම , නිසි පරිදි මුව ආවරණ පැළඳීම, පිටතට යාම අත්‍යාවශ්‍ය නොවන සෑම අවස්ථාවකදීම නිවසේ රැඳී සිටීම, රෝගී වුවහොත් අවදානමට ලක්විය හැකි අයව ආරක්ෂා කරගැනීම , සෞඛ්‍ය සම්පන්නව සිටීම සහ අසනීප තත්ත්වයක් ඇති නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැනි මූලික පියවරයන්ට අනුගත වීම මේ මොහොතේ ඉතාම වැදගත්‍ ය.

( උපුටා ගැනීම : ශ්‍රී ලංකා වෛද්‍ය සභාව)