ඇඳිරි නීතිය ගැන තීරණය අද ලැබෙන ප්‍රථිපල මතයි : පෑලියගොඩට සම්බන්ධ සියලු දෙනා PCR පරීක්ෂණයක් සිදුකර ගන්න – යුද හමුදාපති

October 23, 2020 at 8:06 AM

අද දිනයේ ලැබීමට ඇති PCR පරීක්ෂණ වාර්තාවල ප්‍රතිඵල අනුව පස්වරුව වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන කොරෝනා මර්ධන කමිටුවේදී ඇඳිරි නීතිය පැනවීම පිළිබඳව ඉදිරි තීරණ ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව අද ලැබීමට නියමිත අදාළ PCR වාර්තා බහුතර ප්‍රමාණයක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ගේ බවටයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සති අන්තයේ ඇඳිරි නීතිය පැනවීමක් සිදුකිරීමට මෙම මොහොතේ අවශ්‍යතාවක් නොමැති බවද ,මෙහිදී යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

අදාළ PCR වාර්තාවලට අනුව යම්කිසි අවදානමක් ඇති ප්‍රදේශයක් වේ නම් එම ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට ද ගම්මානයක් වේ නම් එය හුදෙකළා කිරීමටත් නියත වශයෙන් ම කටයුතු කෙරෙන බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ.

මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල සිටින පුද්ගලයන් සති අන්තයේ හැකිතාක් සිය නිවෙස්වලම රැඳී සිටිමින් මෙම තත්වය පාලනය කරගැනීමට සහය ලබාදෙන ලෙසයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියා.

එමෙන්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් මාළු රැගෙන එන පිරිස් සහ ව්‍යාපාර සඳහා මාළු රැගෙන යන පිරිස් සිටින බැවින් එවැනි කටයුතු වල නිරත පුද්ගලයින් සිය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සමග සම්බන්ධ වී PCR පරීක්ෂණයක් සිදුකර ගැනීමට වහාම ක්‍රියා කරන්නැයි හමුදාපතිවරයා සඳහන් කළේ.