තැන තැන මතුවන කොරෝනා ආසාදිතයින්

October 22, 2020 at 12:57 PM

මුල්ලේරියාව රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුට එම රෝහලේදී සිදුකළ අහඹු PCR පරීක්ෂණයකින් ඔවුන් කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇති බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

උඩුමුල්ල සහ මාළිගාගොඩැල්ල යන ප්‍රදේශ දෙකක පදිංචිකරුවන් වන මෙම ආසාදිතයින් දෙදෙනා සාමාන්‍ය උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට මුල්ලේරියාව රෝහලට ඊයේ පැමිණ තිබෙන අතර එහිදී ඔවුන්ව PCR පරීක්ෂණයකට ලක් කිරීමට රෝහල් බලධාරින් පියවර ගෙන තිබෙනවා.

අද දිනයේදී ලැබුණු එම පරීක්ෂණ වාර්තාවන් අනුව එම පුද්ගලයින් දෙදෙනා හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

මීට අමතරව කොළඹ රේගු දෙපාර්තමේන්තුවේ සේවකයෙකුට, පෑලියගොඩ මයික්‍රෝ (පුද්ගලික) සමාගමේ සේවකයෙකුට සහ ජා-ඇල කැම්සෝ පුද්ගලික සමාගමේ සේවකයෙකුටද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ දීනය්දී තහවුරු වී ඇත.