මිගමුව නගර සභා වෙළෙද සංකීර්ණය වසා දමයි : රෙදිපිළි වෙළෙඳ සැලේ ව්‍යපාරිකයාට සහ බිරිඳට කොරෝනා

October 19, 2020 at 2:04 PM

මිගමුව නගර සභාවට අයත් වෙළෙද සංකීර්ණය වසා දැමීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා. ඒ, එම වෙළෙද සංකීර්ණයේ පිහිටි රෙදිපිළි අළෙවි කිරීමේ ව්‍යාපාරික ස්ථානයක හිමිකරුවෙක් සහ ඔහුගේ බිරිඳ හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම ඊට හේතුව බවයි මිගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලක්ෂ්මන් වසන්ත ප්‍රකාශ කර සිටියේ.

මෙම ව්‍යාපාරිකයාට සහ ඔහුගේ බිරිඳට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔවුන්ගේ වෙළෙද සැලට ආසන්නයේ පිහිටි සෙසු වෙළෙදසැල් වසා දැමීමට පියවර ගත් බවත් හෙට දිනයේදී එහි සිටි පුද්ගලයින් 100 කට ආසන්න පිරිසකගේ PCR පරීක්ෂණ කිරිමට සැලසුම් කොට තිබෙන බවයි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා සඳහන් කළේ.

මෙම ව්‍යාපාරික ස්ථානයෙන් රෙදි මිලදී ගනු ලැබූ පාරිභෝගිකයින් කවුරුන්ද යන්න සොයා බලමින් සිටින බව පැවසු මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා ඔවුන්වද PCR පරීක්ෂණ සිදුකිරිමට අවශ්‍ය බව කියා සිටියා.

මෙම ව්‍යාපාරිකයාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යයද පසුගිය ඔක්තෝම්බර් මස පළමු සතියේදී පවත්වා ඇති බවට ද තොරතුරු වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ.