ලෑස්ති වෙන්න දුන්නේ තත්පරයයි, කන්න දුන්නේ අමු කරවල : නිරෝධායන මධ්‍යස්ථානයේ සිට සමාජ මාධ්‍යට වීඩියෝ දැමු කාන්තාවට යුද හමුදාපති දුන් පිළිතුර

October 18, 2020 at 8:56 AM

නිරෝධායන මධ්‍යස්ථානයක් සඳහා යාමට තමන් ඇතුළු පිරිසකට තත්පරෙන් ලැස්ති වෙන ලෙස යුධ හමුදාවෙන් නියෝග කළ බවත් නිරෝධායන මධ්‍යස්ථාන තුලදී තමන්ට අමු කරවල කෑමට දුන් බවට කාන්තාවක් විසින් සමාජ මාධ්‍ය හරහා සිදුකර ඇති චෝදනා සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පිළිතුරු ලබාදුන්නා. ඒ අද උදෑසන එක්තරා පෞද්ගලික රුපවාහිනි වැඩසටහනකට එක්වෙමින්.

මෙහිදී එම චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කලේ කිසිදු අවස්ථාවක නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කරවනු ;ලබන පුද්ගලයින්ව තත්පරයෙන් රැගෙන යාමට යුද හමුදා නිලධාරීන් කටයුතු නොකරනු ලබන බවයි. යම් කිසි පුද්ගලයෙකු හෝ පිරිසක් කොවිඩ් ආසාදිතයෙකු ගේ ආශ්‍රිතයින් බවට හඳුනා ගෙන තිබුණහොත් ඒ සම්බන්ධයෙන් අදාල පුද්ගලයින් වෙත දුරකථන මාර්ගයෙන් දැනුම් දී ඔවුන්ට සිය නිවෙස් තුලටම වී සිටින ලෙසත් ඔවුන්ව නිරෝධායනය කිරීමට රැගෙන යාමට යුද හමුදාව පැමිණෙන වේලාව කල් තියා දැනුම් දීමට මෙන්ම ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ටද ඒ සම්බන්ධයෙන් ක්ෂණිකයෙන් දැනුවත් කිරීම සිදුකරන බව කියා සිටියා.

එමෙන්ම මෙම චෝදනාව සිදුකරනු ලැබූ කාන්තාව ඇතුළු පිරිස නවාතැන් ගෙන සිටින නේවාසිකාගාරයට ද යුද හමුදාව විසින් කල් තියා ඒ ගැන දැනුම් දුන් බවත් තමන් මෙම චෝදනාව ගැන දැනගත් විගස එම නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදාළ රාජකාරි කටයුත්ත භාර නිලධාරියාගෙන් විමසා බැලු බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

මිට අමතරව නිරෝධායන මධ්‍යස්ථානය තුලදී අමු කරවල කෑමට දුන් බවට සිදුකරනු ලබන චෝදනාව සම්බන්ධයෙන් පිළිගත නොහැකි බව පැවසූ හමුදාපතිවරයා මෙම නිරෝධායන ක්‍රියාවලියේදී මේ දක්වා 52,000 කට අධික පිරිසක් එම ක්‍රියාවලිය සිදුකොට පිටව ගොස් ඇති බවත් ඔවුන් සිය මධ්‍යස්ථාන වලින් පිටව යන විට සිදුකළ ප්‍රකාශ මෙරට මාධ්‍ය තුලින් රටේ සියලු ජනතාවට දැක ගැනීමට හැකිවූ බවද සිහිපත් කර සිටියා.

යුද හමුදාව ඇතුළු රටේ සමස්ත ත්‍රිවිධ හමුදාවම මෙම නිරෝධායන ක්‍රියාවලියේදී දිවා රෑ නොබලා සිය ශ්‍රමය කැප කොට රටේ ජනතාවගේ සෞඛ්‍ය ගැන සිතමින් කටයුතු කරන බවත් කිසිදු විටක “අමු ආහාර” කෑමට ලබාදීමට කටයුතු නොකරන බවටද අවධාරණය කර සිටියා.

මෙවැනි චෝදනා සිදුකරන්නේ රටේ සිටින විනය ගරුක සහ දැඩි කැපවීමෙන් යුතුව සේවය කරන ත්‍රිවිධ හමුදාවට බවත් එය කිසිසේත් සුළු කොට තැකිය නොහැකි බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.