රජයේ රෝහල් දෙකකින් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හමුවේ

October 18, 2020 at 7:12 PM

කොළඹ ජාතික රෝහලෙන් සහ පානදුර රෝහලෙන් අද දිනයේදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් දෙදෙනෙකු හමුවූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

කොළඹ ජාතික රෝහලේ 35 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට ඊයේ රාත්‍රියේදී සිදුකළ PCR පරීක්ෂණයකදී හෙළිවූ බවයි එම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. මෙම රෝගියා ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් ඇතිවූ වෙනත් අසනීප තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ගැනීමට රෝහලට ඇතුලත් කොට තිබියදී මෙලෙස කොරෝනා ආසාදිතයෙක් බවට අනාවරණය වී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මොරටුව ප්‍රදේශයේ නිවසක සේවය කරනු ලබන පුද්ගලයෙකු ද හදිසියේ ඇතිවූ හෘද රෝගී තත්ත්වයක් නිසා පානදුර රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව සිදුකළ PCR පරීක්ෂණයකදී ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇත.