බදුර්දීන් ගැන විපක්ෂ නායකගෙන් CIDය ප්‍රකාශයක් ගනියි

October 17, 2020 at 3:16 PM

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා උපදෙස් දී අදට දින 04ක් ගතව ඇතත් මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී නැත.

කෙසේ වෙතත් පසුගිය 12 වැනිදායින් පසු රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සමඟ දුරකථන සංවාද පැවැත්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ගෙන් සහ රවුෆ් හකීම් මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගත් අතර රිෂාඩ් බදියුදීන් ගේ බිරිඳගෙන්ද ප්‍රශ්න කර තිබේ.

2019 ජනාධිපතිවරණ සමයේ රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන් අතර ඒ අනුව යෙදවූ විශේෂ පොලිස් කණ්ඩායම් හය තවමත් බදියුදීන් මන්ත්‍රීවරයා සොයමින් සිටී.

ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ තමා හමුවට කැඳවූ නීතිපතිවරයා නීතිපති උපදෙස් සහ අධිකරණ නියෝග හෑල්ලුවට ලක් නොකර බදියුදීන් මහතා අප්‍රමාදව අත්අඩංගුවට ගන්නා ලෙසට දැනුම් දෙනු ලැබුවා.

එවැනි පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඊයේ රාත්‍රියේ රිෂාඩ් බදියුදීන්ට අයත් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවස වෙත ගොස් ඔහුගේ බිරිඳගෙන් පැයක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

තම ස්වාමියා ඉකුත් 12 වැනිදායින් පසුව තමාට දුරකථනයෙන් හෝ කතා නොකළ බවත්, ඔහු කොහෝ සිටිනවාදැයි තමන් කිසිවක් නොදන්නා බවත් ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් හමුවේ ප්‍රකාශ කර තිබේ.