කුරුණෑගල රෝහල තමන්ටම කියා PCR යන්ත්‍රයක් නිපදවා ගනියි

October 17, 2020 at 3:07 PM

කොරෝනා වයිරසය ආසාධනය වූ බවට සැක කරන රෝගීන් පරීක්ෂාව සඳහා අවශ්‍ය පී.සී.ආර්. යන්ත්‍රයක් නොතිබීම හේතුවෙන් ඒ සඳහා අවශ්‍ය  පරීක්ෂණ යන්ත්‍රයක් නිර්මාණය කිරීමට කුරුණෑගල රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් සමත්වී ඇත.

රෝහලේ වෙනත් ප්‍රතිකාර ඒකකයක රෝගීන් පරීක්ෂාවට තිබෙන යන්ත්‍රයක අවශ්‍ය කොටස් එකලස් කර නව පී.සී.ආර්. යන්ත්‍රය නිර්මාණය කිරීමට රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් සමත් වී තිබේ.

මෙසේ සකස් කරන ලද යන්ත්‍රයේ නියම පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රයක පෙන්වන කාර්යක්ෂමතාවය නොතිබුණද දිනකදී එමඟින් නිවැරැදි පී.සී.ආර්. පරීක්ෂණ 10 ක පමණ සංඛ්‍යාවක් කරගත හැකි බවද කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළු වන සැක සහිත රෝගීන් සංඛ්‍යාව අනුව එම පරීක්ෂණ සංඛ්‍යාව දිනකට හොඳටම ප්‍රමාණවත් බවද කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.

කොරෝනා වයිරසය රට තුළ පැතිර ගිය මුල් අවධියේදී කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් වූ සැක සහිත රෝගීන් පරීක්ෂාවට පොල් පර්යේෂණ ආයතනයේ පාවිච්චියට ගනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රයක් කුරුණෑගල ශික්ෂණ රෝහලට ලැබුණද එය ආපසු ලබාදීමට සිදුවීම හේතුවෙන් රෝගීන් පරීක්ෂාව බරපතළ ගැටළුවක් වී තිබූ බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය.

පොල් පර්යේෂණායතනයෙන් ලබාදී තිබූ  යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වෙනම ඒකකයක් පවා සකසා තිබූ බවද ඒ අනුව එහි සකස් කරන ලද නව යන්ත්‍රය පිහිටුවා ලබන සඳුදා (19) දින සිට අවශ්‍ය පී.සී.ආර්. පරීක්ෂණ රෝහලේදීම සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇති බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය.

කුරුණෑගල ශික්ෂණ රෝහලට පීසීආර් පරීක්ෂණ යන්ත්‍රයක් නොතීබීම හේතුවෙන් සැක සහිත රෝගීන්ගේ සෙම පටල මහනුවර මහ රෝහලට හෝ කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය වෙත යවා පරීක්ෂා කර බැලීමට සිදුවූ අතර ඒ සඳහා එම ආයතන වලින් ලබා දුන් සේවාව ඉහළින්ම අගය කරන බවද නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කැඳන්ගමුව මහතා පැවසීය.