රඹුක්කන කාන්තාවකට කොරෝනා : කෑගල්ලේ ගම්මාන 06 කට සංචාරණ සිමා පැනවේ

October 16, 2020 at 7:00 PM

කෑගල්ල දිස්ත්‍රික්කයේ ගම්මාන 6ක් සඳහා තාවකාලිකව සංචරණ සීමා පැනවූ බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් ඊරියගොල්ල, ඇඹුල්අඹේ, පිංහේන, අලවත්ත, බොරළුව, කිරිවල්ලාපිටිය යන ගම්මාන 6 සඳහා එලෙස තාවකාලිකව සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබේ. දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසුවේ රඹුක්කන ප්‍රදේශයේ කාන්තාවක් කොවිඩ් -19 ආසාදිතයෙක් ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව එම තීරණය ගත් බවයි.

රඹුක්කන ඊරියගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඇය කලගෙඩිහේන ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවිකාවක් බව හෙළිවී තිබේ.

එම කාන්තාවගේ හා සම්බන්ධ ආශ්‍රිතයින් රැසක් සිටිය හැකි බවට පවතින සැකය හේතුවෙන් අදාළ ආශ්‍රිතයින් හඳුනාගැනීම පහසු කිරීමට එම තීරණය ගෙන ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මේ වනවිට කොවිඩ් -19 රෝගීන් 15 දෙනෙකු වාර්තා වී තිබේ. දිස්ත්‍රික්කය පුරා 636 දෙනෙකු නේවාසික නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇත.

කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසුවේ සමාජය අතරින් අහඹු ලෙස PCR පරීක්ෂණ සිදු කිරීමටද කටයුතු කරන බවයි.