පෞද්ගලික අංශයේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා ඉහළ දමන්න යයි

October 16, 2020 at 7:34 AM

මෙරට පෞද්ගලික අංශයේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු හැට දක්වා ඉහළ දැමීමට රජයේ අවධානය යොමුවී ඇතැයි කම්කරු ඇමැති නිමල් සිරිපාලද සිල්වා පවසනවා.

කම්කරු දෙපාර්තමේන්තුවේ පෙරේදා (14) පැවැති කම්කරු උපදේශක සභාවට ඇමැතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට සේව්‍ය සම්මේලනයේ සහ වෘත්තීය සමිතිවල පූර්ණ එකඟතාවය පළ වී ඇත.

ප්‍රවීණයන්ගෙන් සේවය තවදුරටත් ලබාගැනීම විශ්‍රාමික වයස ඉහළ දැමීමේ එක් අරමුණක් වන අතර මෙරට තරුණ ප්‍රතිශතය වැඩිවීමට සාපේක්ෂව වැඩිහිටි ජනගහනය සීඝ්‍රයෙන් ඉහළ යාම නිසා අනාගත ශ්‍රම බලකායේ ඇතිවන රික්තකයටද මෙය විසඳුමක් වනු ඇතැයි කම්කරු උපදේශක කාරක සභාව අපේක්ෂා කරයි.

සේව්‍ය සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ නිදහස් සේවක සංගමයේ සභාපති ලෙස්ලි දේවේන්ද්‍ර හා සී.එම්.යූ. නායක සිල්වෙස්ටර් ජයකොඩි යන අයද මෙහිදී පෙන්වා දී ඇත්තේ අවුරුදු 55 න් පසු අපතේ යන පරිණත සේවකයන්ගේ හැකියාවන් තවදුරටත් ලබා ගැනීමට මෙම යෝජනාව ඉවහල් වනු ඇති බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් තීරණය මීළඟ කම්කරු උපදේශක සභාවේදී ප්‍රකාශයට පත් කිරීමටත් ඉන්පසු ඊට අදාළ නීතිමය ප්‍රතිපාදන සකස් කරන බවත් ඇමැති නිමල් සිරිපාල ද සිල්වා විසින් මෙහිදී ප්‍රකාශ කර තිබේ.