කොරෝනා ආසාදනය වූ මාධ්‍යවේදියා PCR ප්‍රථිපලය ලැබීමට පෙර මාධ්‍ය ආවරණයට යොදවලා – එජාපය රජයේ මාධ්‍ය ආයතනයට එරෙහි පරීක්ෂණයක් ඉල්ලයි

October 16, 2020 at 6:15 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ රජයේ විද්‍යුත් නාලිකාවකට සම්බන්ධ මාධ්‍යවේදීයා සිය PCR පරීක්ෂණය සිදුකොට එහි ප්‍රථිපල ලැබීමට නියමිතව තිබියදී මාධ්‍ය හමු කිහිපයක්ම ආවරණය කිරිමට ගොස් ඇති බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කර සිටිනවා.

මෙලෙස කොවිඩ් ආසාදිත මාධ්‍යවේදියා ඇතුළු අදාළ රාජ්‍ය විද්‍යුත් නාළිකාවේ මාධ්‍යවේදීන් රැසක් ඉකුත් 12 වෙනිදා PCR පරීක්ෂණ වලට මුහුණදී ඇති බවට දැන ගන්නට ලැබුණා.

මෙම පරීක්ෂණයන් ගේ ප්‍රථිපල ලැබීමට නියමිතව තිබියදී එම මාධ්‍යවේදීයාව මාධ්‍යහමු ආවරණය කිරිමට යොමු කොට ඇති අතර, 14 වෙනිදා පැවති එක්සත් ජාතික පක්ෂයේ හා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවද ඒ අතර වනවා.

මේවන විට ශ්‍රී ලංකාව කොවිඩ් දෙවන රැල්ලකට මුහුණ දෙමින් සිටිනවා. PCR පරීක්ෂණ ප්‍රතිපළ ලැබීමට නියමිතව තිබියදී මෙලෙස රජයේ නිලධාරියෙකුට සාමාන්‍ය ජනතාව අතරේ සැරිසැරීමට ඉඩ සලසා දීම වගකීම් විරහිත ක්‍රියාවක් බවත් මිට අදාළ නිලධාරීන්ට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටියි.