පෙරට වඩා වෛරසයේ ව්‍යාප්තිය අති භයංකර තත්ත්වයක : සියළුම නාගරික මන්ත්‍රීවරුන්ට ස්වයං නිරෝධායනය වෙන්න – කොළඹ පුරපතිනිය ඉල්ලයි

October 15, 2020 at 11:12 PM

පසුගිය වරට වඩා මෙවර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අති භයංකර තත්ත්වයක් ඇති වී තිබෙන බව කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි තමන් සමග පැවසූ බව කොළඹ නගරාධිපති රෝසි සේනානායක සිය නාගරික මන්ත්‍රීවරුන් වෙත හඬ පටයක් යොමු කරමින් දැනුම් දී සිටිනවා.

කොළඹ පුරපතිවරිය මෙම හඬ පටය නිකුත් කොට ඇත්තේ මහ නගර සභාවේ සේවයේ නියුතු නිලධාරිනියකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුවයි.

” පෙර වෛරස ව්‍යාප්තිය වඩා මෙවර වෛරසයේ ව්‍යාප්තිය පස් ගුණයක් වේගයෙන් පැතිරෙමින් ඇතැයි ද වෛද්‍යවරයා තමන් සමග පැවසූ බවද කොළඹ නගරාධිපතිනිය සඳහන් කර සිටිනවා.

මෙනිසා කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරුන් සියලු දෙනාට කොරෝනා පරීක්‍ෂණය කිරීමට හෙට දිනයේදී අවශ්‍ය කටයුතු සුදානම් කොට ඇති බවත් කුඩා දරුවන් සිටින මන්ත්‍රීවරුන් ඔවුන්ගේ දරුවන් ලඟට නොගොස් දින 14ක කාලයක් ස්වයං නිරෝධායනය විය යුතු බවත් ඇය සදහන් කර ඇත.

එමෙන්ම හෙට දිනයේදී සිදුකරන PCR පරීක්ෂණයේදී කොරෝනා ආසාදනය වී නොමැති වුවත් තවත් දින කිහිපයකට පසුව සිදුකරන PCR පරීක්ෂණ වලදී තත්ත්වය වෙනස් විය හැකි බවයි ඇය වැඩිදුරටත් අනතුරු අඟවමින් ප්‍රකාශ කර සිටින්නේ.”

මේ අතර කොළඹ නගර සභාව විසින් අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ නගර සභාවෙන් සියලුම සේවාවන් ලබා දීම ප්‍රධාන ගොඩනැඟිල්ල අසළ පිහිටි කවුළුවක් මගින් පමණක් සිදුකරන බවයි. බදු ගෙනීම් අන්තර්ජාලය හරහා සිදු කරන ලෙසද ඉල්ලා ඇත

කොලඹ නගර සභාවේ සේවකයෙකු කොරෝනා ආසාදිත යයි හෙලි වීමෙන් පසු මෙම තීරණ ගෙන තිබේ.

කොළඹ පුරපතිනිය හඬ පටය:

https://soundcloud.com/aruna-lk/rosy-senanayake