ගම්පහ දිස්ත්‍රික්කයේ PCR පරීක්ෂණ 7000 ක ප්‍රථිපල නිකුත් වී නැහැ : ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක

October 15, 2020 at 6:38 PM

අද දින සවස 5.30 න් අවසන් වූ ගතවූ පැය 24ක කාලය තුලදී කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් කොරෝනා වෛරසය ආසාදනය වූ සේවකයින් 39 දෙනෙකු ද එම කළාපයට බාහිරින් පිහිටා ඇති කර්මාන්තශාලා වලින් තවත් කොරෝනාවෛරසය ආසාදිත සේවකයින් 16 දෙනෙකු ද සොයාගෙන ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කය තුළින් ගත වූ පැය 24ක කාළය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 89 දෙනෙකු වාර්තා වී ඇති අතර එයින් රෝගීන් 78 දෙනෙකු දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස තුළ සිදු කළ PCR පරීක්ෂණ මගින් අනාවරණය වී ඇති අතර ඉතිරි 11 දෙනා දිස්ත්‍රික්කයේ පිහිටි රෝහල් වලින් සොයාගෙන ඇති බවයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

මේ දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ තුළ PCR පරීක්ෂණ 18,133 ක් සිදු කර ඇති බවත් එයින් පුද්ගලයින් 7,020 දෙනෙකුගේ පමණ ප්‍රතිඵල වාර්තා නිකුත් වී නොමැති බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා සඳහන් කර සිටිනවා.

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි ඇගලුම් කම්හලක සේවකයින් 36 දෙනෙකුට කොරෝනා රෝගය ආසාදිත බවට ඊයේ දින රාත්‍රී තහවුරු වීමත් සමගම එයින් 20 දෙනෙකු කටුනායක-සීදුව මහජන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ තාවකාලිකව පදිංචි වී කටුනායක කර්මාන්තශාලා වල සේවයේ යෙදෙන්නන් බව ද එම කළාපයේ පරිපාලන මහජන සෞඛ්‍ය නිලධාරී සුරේෂ් කුමාර සඳහන් කර සිටියා.

ඒ අනුව කටුනායක-සීදුව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ මේ දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 124 දක්වා ඉහළ ගොස් ඇති බව ද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීවරයා සඳහන් කර සිටියේ.

මෙලෙස අනාවරණය වූ කොරෝනා වෛරසය ආසාදිතයන් මොරටුව-ලුනාව රෝහලටත්, කුරුණෑගල-අබන්පොළ රෝහල වෙතත් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කළ බව ද පරිපාලන මහජන සෞඛ්‍ය නිලධාරී සුරේෂ් කුමාර වැඩිදුරටත් සඳහන් කළා.