ඇඳිරි නීතියේ වෙනසක් කිරීම ගැන විශ්ලේෂණය කරනවා – යුධ හමුදාපති

October 14, 2020 at 6:09 PM

ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා රෝගීන් ගෙන් පිරිසක් මේ වන විට ඇඳිරි නිතිය පනවා නොමැති ප්‍රදේශ වලින් වාර්තා වීම නිසා නිරෝධායන ඇඳිරි නීතියේ වෙනසක් සිදුකරන්නේද යන්න ගැන විශ්ලේෂණය කරමින් සිටින බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

” ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 194 දෙනා ගෙන් බහුතරයක් මේ වන විට නිරෝධායන ඇඳිරි නිතිය පනවා ඇති ප්‍රදේශවලින් හමුවී ඇත්තේ. ඒ වුවත් සීදුව ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගින් 42ක් ඊයේ වාර්තා වුණා. ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය නොමැති මෙම ප්‍රදේශවලට ඉදිරියේදී ඇඳිරි නීතිය පැනවීමට අවශ්‍යද යන්න ගැන විශ්ලේෂණය කරනවා. යම් හෙයකින් ඉදිරියේදී එවැනි තීරණයක් ගන්නේ නම් ඒ ගැන කල්තියා දැනුම් දීමට අවශ්‍ය පියවර ගන්නා බව යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාව හරහා ඇතිවූ කොරෝනා රෝගීන් මේ වන විට රෝහල් ගත කොට සිටිනවා. ඒ වගේම ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කොට තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ ආශ්‍රිතයින් කවුරුන්ද යන්න ගැන බුද්ධි අංශ, හමුදා සහ සෞඛ්‍ය අංශ හඳුනා ගෙන තිබෙනවා. ඒ වගේම ඉන් ඔබ්බට ගිහින් අපි ඒ අය හරහා කොරෝනා වෛරසය ආසාදනය විය හැකි පිරිස් කවුරුන්ද යන්න ගැන විශ්ලේෂණය කරලා ඔවුන් වෙන් කොට හඳුනා ගෙන තිබෙන බව යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියා.

ඇතැම් අවස්ථාවලදී අපිට හමුවෙන පුද්ගලයින් නිරෝධායනය කිරීමට රැගෙන යාමේදී සමාජයෙන් මෙන්ම එම පුද්ගලයින්ගෙන් විවිධ විරෝධතා මතුවන බවට පැමිණිලි ලැබී තිබෙනවා. ඒ නිසා අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා මෙම පුද්ගලයින්ව සමාජයෙන් ඉවත් කොට ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන යන්නේ ඔබගේ ආරක්ෂාවට කියා තේරුම් ගන්න.

ඒ වගේම තමන්ගේ ස්ථිර පදිංචිය, දුරකථන අංකය දැනට පදිංචිව සිටින නේවාසිකාගාරයේ ලිපිනය තමන් සේවය කරන ආයතනයට ලබාදීමට පියවර ගන්න කියලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා” යැයි මෙහිදී හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.