දළදා පෙරහැරේ ගිහින් නැටුවා : ආරක්ෂක කවුන්සිලයට ආවම ෆෝන් දෙකක් තියන් ඔබ ඔබා ඉන්නවා – හිටපු ජනපති පුජිත් ගැන කොමිසමට කියූ දේ

October 13, 2020 at 6:13 PM

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ධුර කාලය තුළ ඔහුගේ හැසිරීම පිළිබඳව විවිධ විවේචනයන් තිබූ බැවින් ඔහු හට ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගි නොවන ලෙස දන්වා තිබූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (13) සඳහන් කරන ලදි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ දෙවන දිනටය.

මෙහිදී, හිටපු ජනාධිපතිවරයා ඇමතූ ජනාධිපති කොමිසමේ සාමාජික අභියාචනාධිකරණ විනිසුරුවරයා විමසා සිටියේ, ඔබගේ ධූර කාලය තුළ කිසිවෙකුට හෝ ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගි වීම තහනම් කර තිබුණේ ද යන්නය.

එයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියාසිටියේ,“තහනම් කළේ නැහැ, යම් යම් හැසීරිම් නිසා එන්න එපා කිව්වා, පූජිත් ජයසුන්දර මහතා ඔහුගේ ධුර කාලය තුළ නොයෙකුත් විවේචනයන්ට ලක්වුණා. ජාතික ආරක්ෂක කවුන්සිලයට ආපුවාම ෆෝන් දෙකක් තියාගෙන අයිනකට වෙලා ඔබ ඔබ ඉන්නවා, ගන්න තීන්දු තීරණ මොනවත් දන්නේ නැහැ. දවසක් ආරක්ෂක කවුන්සිල රැස්වීමෙන් පස්සේ මම පෞද්ගලිකව හමුවෙලා කිව්වා, පූජිත් ආරක්ෂක කවුන්සිලයේ වැඩකටයුතුවලට අවධානය දෙන්න කියලා. 2018 මහනුවර ඇසළ පෙරහැරේදි නැටුවා, දවස් දෙකකට පස්සේ මම ගෙන්නලා ඇහුවා, පූජිත් දියවඩන නිළමෙට නැට්ටුවෝ මදිවෙලාද ඔයා නැටුවේ කියලා.  ඊට පස්සේ ආයෙත් දවසක් මාතර ඉස්කෝලෙකට ගිහින් ළමයි ඉස්සරහා ටීචර්ස්ලාගෙන් ප්‍රශ්න අහලා එතනත් ප්‍රශ්නයක් ඇති කරගත්තා.පොළොන්නරුවේ අපේ ගමේ නාවික හමුදාව සංගීත සන්දර්ශනයක් ලෑස්ති කරලා තිබුණා, පූජිත් ඒකෙදි මගෙන් ඇවිල්ලා ඇහුවා, ‘සර් මම සිංදුවක් කියන්නද කියලා ‘ මමත් ඉතිං ඔන්න ඕහේ හා කිව්වා. පූජිත් වේදිකාවට නැගලා සින්දුවක් කිව්වා, දෙකක් කිව්වා, සාමාන්‍යයෙන් ජනප්‍රිය ගායකයෙකුත් සින්දු 03 ක් කියලා වේදිකාවෙන් බැහැලා යනවා, එත් පූජිත් එකක්, දෙකක්, තුනක් නෙමේ සින්දු හයක් කිව්වා. එත් නැවැත්තුවේ නැහැ, තව ටිකක් හිටියනං මිනිස්සු හූ කියයි කියලා බැරිම තැන මම නැගිටලා ආවා, මම වාහනයට නගිනවා දැකලා සින්දු කියන එක නවත්තලා ඇවිල්ලා පූජිත් මගෙන් ඇහුවා, සර් මම සිංදු කිව්වා ලස්සනයිද කියලා. මම කිව්වා හොඳ හින්දා තමයි මම මේ යන්නේ කියලා, ඔන්න ඔය වගේ හැසීරිමක් තමයි පොලිස්පතිගේ තිබුණේ,” යැයි හිටපු ජනාධිපතිවරයා කොමිසම් සභාවේ සිනහා මැද සාක්ෂි ලබාදුන්නේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, “පොලිස්පතිවරයාගේ මෙවැනි ක්‍රියාකලාප නිසා මම අගමැති රනිල්ට කිව්වා හම්බවෙලා කතාකරන්න ඕනේ කියලා. පස්සේ රනිල්, තලතා, මංගල, මලික් ඇතුළු පස්දෙනෙක් ඇවිල්ලා පූජිත්ගේ ක්‍රියාකලාප ගැන සාකච්ඡා කළා, පූජිත්ට එන්න කියලා උපදෙස් දුන්නා, කොහොම වුනත් අපි එකට වැඩ කළා. ඔය මාව හමුවෙන්න කෝල් කරන්න බැහැ කියන කතා අමූලික බොරු, මොන උත්සවයකට ගියත් මම වාහනයෙන් බහින්න කළින් පූජිත් දොර ගාව. මම PSO ට කියනවා පූජිත්ට පොඩ්ඩක් අයින් වෙන්න කියන්න දොර ඇරගන්න බැහැ කියලා,” යැයි හිටපු ජනාධිපතිවරයා වඩිදුරටත් ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදුන්නේය.