ඉදිරි දින 05 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොරෝනා රෝගීන් මතුවිය හැකි – යුධ හමුදාපති

October 12, 2020 at 11:28 AM

ඉදිරි දින 05 ක කාලය තුලදී මෙරට විවිධ ප්‍රදේශ වලින් කොරෝනා වෛරසය ආසාදිතවූ පුද්ගලයින් වාර්තා වීමේ ප්‍රවනතාවයක් ඇතිවිය හැකි බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

අද උදෑසන පෞද්ගලික රූපවාහිනී මාධ්‍ය ආයතන කිහිපයක් සමග පැවති සාකච්ජාවකදී මේ බව හමුදාපතිවරයා සඳහන් කර සිටියා.

” මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරපු ඇතැම් සේවක සේවිකාවන් දිවයිනේ නොයෙක් ප්‍රදේශවලට ගොස් තිබෙනවා. ඒ හරහා යම් විට කොරෝනා රෝගීන් වාර්තා වීමේ හැකියාවක් තිබෙනවා.

ඒ වගේම මේ වෙනකොට ඇඳිරි නීතිය පනවා තිබෙන ඇතැම් ප්‍රදේශවල කොවිඩ් රෝගීන් වාර්තා වීම අවම වීම නිසා ඉදිරි දින 2-3 තුළ ඒ සම්බන්ධයෙන් විමර්ෂණය කොට එම පොලිස් බල ප්‍රදේශවල පනවා තිබෙන සීමාවන් ඉවත් කිරිමට පියවර ගන්නා බව හමුදාපතිවරයා කියා සිටියා.

පසුගිය දින දෙක තුලදී වාර්තා වූ කොරෝනා රෝගීන් අතුරෙන් මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවකයින්, ඔවුන්ගේ පළමු ආශ්‍රිතයින් මෙන්ම දෙවන ආශ්‍රිතයින් කිහිපදෙනෙකුට හට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇති බව” යුධ හමුදාපතිවරයා කියා සිටියේ.