MAS ආයතනයට ගුරුලේත්තු 36000ක් ලබා දෙන්න මැටි රාජ්‍ය අමාත්‍යාංශය ගිවිසුම් අත්සන් තබයි

October 6, 2020 at 9:44 AM

MAS Intimates (PVT) Ltd ආයතනය සෑම වර්ෂයකම තම සාමාජික සාමාජිකාවන් සදහා අවුරුදු තිළිණයක් ලබාදීම සඳහා වන ගිවිසුමට වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ඊයේ දිනයේදී අත්සන් තබා තිබෙනවා.

සෑම වසරකම ලබා දෙන මෙම තිළිණයන් බොහොමයක් ආනයනික නිෂ්පාදනයන් බවත් ඒ සම්බන්ධයෙන් දැනගත් පසු එම ආයතනයේ පාලන අධිකාරි‌යෙන් කළ ඉල්ලීමකට අනුව, මෙවර එහි සාමාජිකයන් 36,000 ක් සදහා ගුරුලේත්තුවක් ලබාදීමට ඔවුන් තීරණය කර තිබෙන බවයි රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය පිටුවේ සඳහන් කර ඇත්තේ.

සිය අමාත්‍යංශයට අයත් මැටි භාණ්ඩ නිෂ්පාදකයන්ගෙන් ඒවා ලබාගැනීමට සැලසුම් කර ඇති බවත් එමගින් විශාල විදේශ විනිමයක් රටට ඉතිරිවන අතරම, එම මුදල මේ රටේ කර්මාන්තකරුවන් අතර බෙදීයෑමත්, පරිසර හිතකාමී දේශීය නිෂ්පාදනයන් පරිභෝජනයට ජනතාව උනන්දු කිරීමට හැකියාව ලැබීමත්, ඉමහත් සතුට දනවන කරුණක් වන අතර එය වත්මන් රජයේ අපේක්ෂාවන් ද ඉටුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටින්නේ.

මෙම තිළිණයන් 2021 ජනවාරි 01 වැනි දින සාමාජිකයන්ට ලබාදීම සදහා මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කර ඇත.

ඒ සඳහා වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ MAS සමූහයට අයත් “MAS Intimates (PVT) Ltd” ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් (MOU) ඊයේ දිනයේදී අමාත්‍යංශයේදී අත්සන් තබා ඇත. එම ආයතන‌ය වෙනුවෙන් ප්‍රධාන විධායක නිලධාරි රජීව් ධර්මේන්ද්‍ර සහ අමාත්‍යාංශයේ ලේකම් එම්.ඒ.බී විජිත බණ්ඩාර මෙම ගිවිසුමට අත්සන් තබා තිබේ.