පන්තියක සිටිය හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 45 දක්වා ඉහළට

October 6, 2020 at 9:11 PM

මෙරට සිසුන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය වඩාත් සුරක්ෂිත කරමින් හා ප්‍රශස්ත ඉගෙනුම් ක්‍රියාවලියකට සිසුන් සහ ගුරුවරුන්ට සහභාගී විය හැකි අයුරින් පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ නැංවීමට අදාළව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරිස් විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

2016 වසරේ දී පැවති එක් පන්තියක සිටිය යුතු සිසුන් 40 සහ 40 ඉක්මවූ  උපරිමය 2015-10-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව, එවකට සිටි විෂයභාර අමාත්‍යවරයා යටතේ වූ අධ්‍යාපන අමාත්‍යාංශයීය ඉල්ලීම මත 2021 වසර සහ ඉන් ඉදිරියට 35ක් ලෙස අඩු කිරීමට 2016 වර්ෂයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබිණි. එහෙත් සිසුන් සංඛ්‍යාව 35 සීමාවේ පවත්වා ගැනීම ප්‍රායෝගික වී නැත.

තව ද, අනිවාර්ය සහ වාර්ෂික ස්ථාන මාරු, විදේශගතව සිට පැමිණි පදනම, පදිංචිය වෙනස්වීම, අධිකරණ සේවයේ නියුතු විනිශ්චයකාරවරුන්, රජයේ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් පාසල්වල හා අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත දෙපාර්තමේන්තුවල සේවයෙහි නියුක්ත කාර්ය මණ්ඩල, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් යන අත්‍යාවශ්‍ය වෘත්තික කණ්ඩායම් සහ විවිධ පදනම් මත පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ දී තිස්පහේ (35) උපරිම සිසුන් සීමාව කළමනාකරණය කරගැනීම සමාජ ගැටළුවක් බවට පත් වී තිබේ.

මේ නිසා සතිපතා මහජන දිනය තුළ පාසල්වලට සිසුන් ඇතුළත්කරගැනීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබෙන ඉල්ලීම් සංඛ්‍යාව මේ වනවිටත් 3000කට අධික වී පවතී.

මේ හේතුවෙන් 2021 වර්ෂයේ සිට ඉදිරියට පාසලක එක් පන්තියක සිටිය හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 45 සීමාව දක්වා සංශෝධනය කිරීමට සහ ඊට අදාළ නීතිමය කටයුතු සිදුකිරීම සඳහා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව පළ වී තිබේ.

ජනාධිපතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව යමින්, දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට ම අවම වශයෙන් පාසල් තුනක් ඇතුළත්වන පරිදි තෝරාගත් පාසල් 1000ක් සංවර්ධනය කර සිසුන් සඳහා පහසුකම් සහිත ඉගෙනුම් පරිසරයක් සකස් කරන තෙක් වර්ෂ 2023 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම උපරිම සීමාව වැඩිකිරීමේ තීන්දුව ගෙන ඇත.

එමෙන්ම,  අනිවාර්ය/වාර්ෂික ස්ථාන මාරු පදනම, විදේශගතව පැමිණි පදනම, පදිංචිය වෙනස්වීම ඇතුළු හඳුනාගත් පදනම් කිහිපයක් මත පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධ ව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් ද හඳුන්වා දීමට ද මෙම කැබිනට් තීන්දුව අනුව පියවර ගැනේ.