බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර සමාජයට දැඩි අවධානමක් බව වසංගත රෝග විද්‍යා අංශය කියයි

October 5, 2020 at 9:16 PM

මිනුවන්ගොඩ ප්‍රදේශයේ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාව ඔස්සේ වාර්තා වී ඇති කොවිඩ් පොකුර මීට පෙර වැලිසර නාවික හමුදා කඳවුර සහ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය හරහා ඇතිවූ කොවිඩ් පොකුරු වලට වඩා ගැටළු සහගත භාවයකින් යුක්ත බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටිනවා.

මෙම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන පිරිස අතුරින් මුලිකව සිදුකළ PCR පරීක්ෂණ 100 කින් 69 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත් එම පොකුර ආශ්‍රිතව මේ වන විට රෝගීන් 78ක් දෙනෙකු හඳුනා ගෙන ඇති බව කියා සිටියා.

මෙම ඇගළුම් කර්මාන්ත ශාලාවේ බොහෝ දෙනා රැකියාවට පැමිණ ඇත්තේ නවාතැන් පොළවල් වල සිට බවත් ඔවුන් වැඩි දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයේ සිට රැකියාවට පැමිණෙන බවත් පසුගිය දින කිහිපයේ පැවති දීර්ඝ නිවාඩුවේදී ඇතැම් අය නිවාඩු ලබා නිවෙස් වලටද ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළේ.

මෙම කර්මාන්ත ශාලාව තුලට වෛරසය පැමිණියේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් වන කරුණු මේ දක්වා හෙළිවී නොමැති බවත් මෙම ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් භාහිර සමාජය තුල සැරිසැරීම හේතුවෙන් වෛරසය වෙනදාට වඩා සමාජ ගතවීමේ අවධානමක් ඇති බවයි ඔහු සඳහන් කළේ.

අද දිනයේදී හඳුනා ගනු ලැබූ කොවිඩ් රෝගීන් 69 දෙනා ගේ ආශ්‍රිතයින් හඳුනා ගැනීම සහ ඔවුන්ව PCR පරීක්ෂණ සිදුකිරිම සහ නිරෝධායනයට යොමු කිරිමේ ක්‍රියාවලිය සිදුකළ යුතු බවත් මෙම රෝගයේ ව්‍යාප්තිය සිදුවීමේ හැකියාව සම්බන්ධයෙන් පුරෝකථනයක් සිදුකිරිම කළ හැක්කේ ඉන් පසුව බවයි සඳහන් කළේ.