සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරීම : ජපානයට කෝටි 361ක් ගෙවිය යුතුයි

October 2, 2020 at 5:51 PM

අවලංගු කිරීමට තීරණය කර ඇති කොළඹ – මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියෙන් (Light Railway Tiusist – LRT) නිලවශයෙන් ඉවත් වීමේදී ඒ වෙනුවෙන් ජපානයට ඇමෙරිකානු ඩොලර් මිලියන 19ක මුදලක් (රුපියල් කෝටි 361ක්) ආපසු ගෙවිය යුතු බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල පැවසීය.

මෙම ව්‍යාපෘතියේ සක්‍යතා අධ්‍යනයන් සඳහා වෙන්කර ඇති ඩොලර් මිලියන 130ක මුදලක් මිලියන 19ක් මේ වන විටත් ශ්‍රී ලංකාව විසින් ලබාගෙන ඇති බැවින් එම මුදල් ආපසු ජපානයට ගෙවීමට ශ්‍රී ලංකාව බැඳී ඇතැයි ද ලේකම්වරයා පසුගියදා මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

 

ජපානයේ ජයිකා ආයතනයේ ණය ගිවිසුම යටතේ 2018 වර්ෂයේ ආරම්භ කෙරුණු කොළඹ සහ මාලබේ අතර කණු මත දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ සමස්ත ආයෝජනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.8ක් වේ. කෙසේ වෙතත් පිරිවැය අධික වීම ඇතුළු හේතු ගණනාවක් ඇති බව පවසමින් මෙම ගිවිසුම අවලංගු කිරීමට රජය තීරණය කළ අතර ඊට අදාළ ඇමැති මණ්ඩල අනුමැතිය පසුගිය සතියේදී හිමිවිය. ඒ අනුව ජයිකා ආයතනය සහ ශ්‍රී ලංකාවේ වගකිවයුතු පාර්ශ්ව අතර ගිවිසුම අවලංගු කිරීමට අදාළ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

‘අරුණ’ පුවත්පත