බදුර්දීන් සොහොයුරාට නඩු පවරන්න තරම් සාක්ෂි නැහැ : පොලිසිය කියයි

October 2, 2020 at 6:03 PM

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන්ට එරෙහිව නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි කිසිවක් හමුවී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ප්‍රකාශ කර සිටිනවා. පොලිස් මුලස්ථානයේ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව ප්‍රකාශ කර සිටියා.

පාස්කු ඉරිදා එල්ලවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයන්ට අදාළව ඉකුත් අප්‍රේල් මස 14 වෙනිදා පුත්තලම ප්‍රදේශයේදී රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවත් එම සිදුවීමට ඔහුගේ සම්බන්ධයක් ඇති බවට සිදුකළ විමර්ශන වලදී හෙළි නොවූ බැවින් නඩු පැවරීමේ හැකියාවක් නොමැති නිසා මුදා හැරීමට පියවර ගත් බවයි ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කළේ.

මෙහිදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න සඳහන් කළේ රිෂාඩ් බදුර්දීන් ගේ සොහොයුරා මුදා හැරියේ දේශපාලනික බලපෑම් මත නොවන බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන අවසන් අදියරට පැමිණ ඇති බවත් තවත් සති කිහිපයකින් පමණ විමර්ශන කටයුතු අවසන් වනු ඇති බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රහාරයට අදාළව සැකකරුවන් 100 දෙනෙකු පමණ මේ වන විටත් අත්අඩංගුවේ තබාගෙන විමර්ශන කටයුතු සිදුකෙරෙමින් පවතින බව කියා සිටියා.