16 වසරකට පසුව මතුවූ සුනාමි දරුවා ගැන පොලිසියට සැකයක් : පරීක්ෂණ අරඹයි

October 1, 2020 at 8:14 AM

2004 සුනාමි ව්‍යවසනයේදී අතුරුදන් වී වසර 16 කට පසු තම දරුවා සොයාගත් බවට සමන්තුරේ ප්‍රදේශයේ කාන්තාවක් පසුගියදා මාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, අදාළ තරුණයා හදාවඩා ගත් බවට පැවසෙන අම්පාර – බුද්ධංගල ප්‍රදේශයේ පදිංචි නුරුල් ඉන්ෂාන් නැමැති 42 හැවිරිදි කාන්තාව සමන්තුරේ පොලිසියට පැමිණිලි කිරීම හේතුවෙන්.

පසුගියදා අබුසාලි සිත්ති හමාලියා නැමැති කාන්තාව මාධ්‍යයට ප්‍රකාශ කළේ සුනාමියෙන් අතුරුදන් වූ සිය පුතු වසර 16 කට පසු හමු වූ බවයි.

සමන්තුරේ – මාලිගෙයිකාඩු ප්‍රදේශයට සුනාමිය කඩා වැදුණු අවස්ථාවේ ඒ වනවිට අවුරුදු 05ක වයසේ සිටි රාසීන් මොහොමඞ් අක්‍රම් රිස්කාන් නැමැති තම පුතු අතුරුදන් වූ බව ඇය කියා සිටියා.

අනතුරුව වසර ගණනාවක් පුතු සෙවූ බව ප්‍රකාශ කළ ඇය අම්පාර ප්‍රදේශයේ කාන්තාවක් විසින් ඔහුව හදාවඩාගෙන ඇති බවයි සඳහන් කළේ. ඇය මෙම ප්‍රකාශය සිදුකරන අවස්ථාවේ තම පුතු බව ප්‍රකාශ කළ එම තරුණයාද ඇගේ නිවසට පැමිණ සිටියා.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප එම තරුණයාගෙන්ද අද විමසූ අතර, තම මව කවුරුන්ද යන්න නිශ්චිතව තහවුරු කර දෙන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ. එසේම, තමන්ට උප්පැන්න සහතික දෙකක් පවතින බවත් ඔහු කියා සිටියා.

තමන් කුඩා කළ රැඳී සිටි මව සතුව පවතින උප්පැන්න සහතිකයේ නම මොහොමඞ් සියාන් ලෙස සඳහන් වන බවත්, අම්පාර සද්ධාතිස්ස විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත්, මෙම තරුණයාව සහ අම්පාර බුද්ධංගල ප්‍රදේශයේ පදිංචි කාන්තාව අද සමන්තුරේ පොලිසියට කැඳවා ඇත්තේ මෙම ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහායී. එසේම, මෙම තරුණයා තමන්ගේ බවට මාධ්‍ය වෙත ප්‍රකාශ කළ කාන්තාවටද අද දිනයේ පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත්, අම්පාර – බුද්ධංගල ප්‍රදේශයේ පදිංචි නුරුල් ඉන්ෂාන් නැමැති කාන්තාව පවසන්නේ මෙම තරුණයා මෙලොවට බිහි කළේ තමන් බවයි.

අප මෙම සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකුගෙන් කරුණු විමසා සිටි අතර, ඔහු කියා සිටියේ දෙපාර්ශවය කැඳවා අද ප්‍රකාශ සටහන් කර ගන්නා අතර, තරුණයාගේ සැබෑ මව කවුරුන්ද යන්න තහවුරු කර ගැනීම සඳහා ඉදිරියේදී ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි.