පාලන මිළ ඉවතට – වෙළදපොළට යළිත් “කහ” එයි – කිලෝවක් රු.3700ට

October 1, 2020 at 11:47 PM

කහ ආනයනය තහනම් කිරීමත් සමඟ දේශීය වෙළෙඳපොළේ කහ සඳහා වූ මිල සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර එහිදී මිල පාලනය සඳහා 2020 අප්‍රේල් 21 දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ගේ අත්සනින් යුතුව අංක 2172/5 දරන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරිණි.

ඉන් කියැවුණේ කහ කුඩු අලෙවිය සඳහා කිලෝ ග්‍රෑම් 1ක් වෙනුවෙන් රු. 750.00 ක උපරිම සිල්ලර මිලක් නියම කරනු ලබන බවයි. එසේම කිසිම ආනයනකරුවකු, නිෂ්පාදකයෙකු, බෙදාහරින්නකු හෝ වෙළෙන්දෙකු විසින් එම උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් වෙළෙඳාම් කිරීම, වෙළෙඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම, වෙළෙඳාම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවට එම ගැසට් නිවේදනයෙන් නියම කර තිබුණි.

කෙසේ වෙතත් කහ සඳහා වූ උපරිම සිල්ලර මිල ගැසට් පත්‍රය 2020 සැප්තැම්බර් 23 වැනි දින නිකුත් කරන ලද අංක 2194/49 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් පරිච්ඡින්න කර තිබේ.

කහ අලෙවියට බලපාන ලද උපරිම සිල්ලර මිල නියමය මෙහිදී ඉවත් වන අතර ඒ අනුව මේ වන විට වෙළෙඳපොළ තුළ හිඟව පැවති කහ, යළිත් අලෙවිය සඳහා ඇති බවට වාර්තා වේ.

ඡායාරූපයේ දැක්වෙන්නේ මෙරට ක්‍රියාත්මක විද්‍යුත් වාණිජ්‍ය ආයතනයක වෙබ් අඩවියෙහි 2020 ඔක්තෝබර් 01 දින කහ කුඩු අලෙවියට ප්‍රදර්ශනය කර තිබූ ආකාරයයි. එහිදී කහ ග්‍රෑම් 50 ක් රු. 240 සිට ද කිලෝ 1 ක් රු. 3,700 සිට ද අලෙවියට ඉදිරිපත් කර ඇති අයුරු දිස්වේ.

( මුලාශ්‍ර : අද දෙරණ වෙබ් අඩවිය)