අධිකරණ අමාත්‍යාංශයේ රැකියා පෙන්වා ලක්ෂ ගණන් මුදල් ගරලා

October 1, 2020 at 10:15 AM

අධිකරණ අමාත්‍යාංශයේ රැකියා ලබාදෙන බව පවසමින් ව්‍යාජ සම්මුඛ පරීක්ෂණ ලිපි හා පත්වීම් ලිපි ලබාදී රුපියල් ලක්ෂ ගණනින්, මුදල් ගත් වංචාවක් පිළිබඳව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

අධිකරණ අමාත්‍යාංශයෙහි ලිපිකරු, කාර්යාල කාර්ය සහායක, රියැදුරු හා මුරකරු පත්වීම් ලබාදෙන බව පවසමින් මෙම වංචාව සිදුකර ඇත.

මෙම වංචා කළ සියලු පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි පොලිසියෙන් ඊයේ (30) ඉල්ලීමක් කර තිබෙනවා. මෙම වංචාවට හසුවූ තරුණ තරුණියන් විශාල පිරිසක් සම්මුඛ පරීක්ෂණ ලිපි හා පත්වීම් ලිපි සමගින් අධිකරණ අමාත්‍යාංශයට ඊයේ පැමිණි අවස්ථාවේදී අදාළ වංචාව පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

අම්පාර, මීගමුව, දංකොටුව, ගල්කිස්ස ආදී විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටි තරුණ තරුණියන් තම සම්මුඛ පරීක්ෂණ ලිපි ව්‍යාජ බවට දැන ගත්තේ ද අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේදීය. මෙලෙස රැකියා ලබාදීමට රුපියල් 17,500 සිට රුපියල් 185,000 දක්වා මුදල් ලබාගෙන තිබූ අතර මුදල් ලබාදී තිබූ බවට වූ බැංකු රිසිට් පත්ද ඔවුන් සතුව තිබිණි. අදාළ වංචාව සිදුකළ පුද්ගලයා සමන්ත යන නමින් පෙනී සිට ඇති අතර , ඔහු සමග මෙම තරුණ තරුණියන් දුරකථනය ඔස්සේ සම්බන්ධ වී මුදල් ලබා දී තිබේ. මේ වන විට තරුණ තරුණියන් 45 දෙනකු ඔහුට මුදල් ලබාදී ඇත.

රාජ්‍ය ආයතනයක් සඳහා බඳවා ගැනීමේදී නිසි ක්‍රමවේදයක් පවතින බැවින් උගත් තරුණ තරුණියන් ලෙස මේ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීමේ වගකීමක් පවතින බව අධිකරණ ඇමැති අලි සබ්‍රි අමාත්‍යාංශයට ඊයේ පැමිණ සිටි එම තරුණ තරුණියන් අමතමින් ප්‍රකාශ කළේ.