රූපවාහිනී නාළිකා ප්‍රේක්ෂක ප්‍රතිචාර මත ශ්‍රේණිගත කිරීම කැළනිය විශ්ව විද්‍යාලයෙන්

September 29, 2020 at 10:23 PM

විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය වෙතින් පුද්ගලයන්ට, ආයතනවලට සහ ව්‍යාපාරවලට එල්ල කෙරෙන අනිසි බලපෑම සහ අගතීන් පිළිබඳව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අනාවරණය විය.

එහිදී සියලු කරුණු සැලකිල්ලට ගෙන පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමේ දැඩි අවශ්‍යතාව පිළිබඳව අවධානයට ලක් විය.
හඬ කවන ලද විදේශ ටෙලි නාට්‍ය විකාශනයේ දී අය කෙරෙන බදු නාළිකාවල ඉල්ලීම මත කොවිඩ් කාලසීමාවේදී ඉවත් කෙරිණ. එය නැවත සක්‍රිය කිරීමට ද තීරණය විය.

රූපවාහිනී නාළිකා ප්‍රේක්ෂක ප්‍රතිචාර මත ශ්‍රේණිගත කිරීම කැළනිය විශ්ව විද්‍යාලයේ සහභාගීත්වයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අපක්ෂපාතීව සිදු කිරීමට සැලසුම් කර තිබේ. ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර කඩිනමින් එය ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවය ගැන එකඟතාව පළ විය.

තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී මේ කරුණු සම්බන්ධව ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.