15 හැවිරිදි දැරියගේ සිරුර ඇළකින් හමුවෙයි – රාත්‍රියේ නිවසේ නිදා සිටි බවට නිවැසියන් කියයි

September 29, 2020 at 10:59 AM

නිවසින් අතුරුදහන් වු පාසල් දැරියකගේ සිරුරක් කොත්මලාඔයට ජලය ගලා බසිනා නානුඔය ඩෙස්පොඩ් ඇළේ තිබි අද (29) දින හමුවු බව නානුඔය පොලිසිය පවසනවා.

මෙසේ හමු වි ඇත්තේ නානුඔය ඩෙස්පොඩ් වත්තේ පහල කොටස් පදිංචිව සිටි නානුඔය ඇබඩ්ස්පොඩ් දමිල මහ විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි මහේන්ද්‍රන් යෂෝධා නම් වූ 15 හැවිරිදි පාසල් දැරියගේ සිරුර බවයි පොලිසිය සඳහන් කළේ.

පවුලේ දෙවනියා වු මිය ගිය පාසල් සිසුවිය ඊයේ (28) දින රාත්‍රී 10 පමණ නින්දට ගිය බවත් පසුව අද අලුයම 2.30 ට පමණ අවදි වි බලන විට දැරිය නිවසේ නොසිටි බවත් නිවසේ එක් ජනේලයක් පමණක් විවෘතව පැවති නිසා දැරි සොයා අවට වතු කම්කරුවන් එක්ව සිදු කල මෙහෙයුමකදි අතුරුදහන්ව සිටි පාසල් දැරියගේ සිරුර ඩෙස්පොඩ් ඇළේ අලියා වැටුණු වල ස්ථානයේ තිබි හමු වි ඇත.

මිය ගිය දැරිය ඊයේ (28) දින පස්වරුවේ බාහිර පන්තියකට සහභාගි විමට ගිය බව දෙමව්පියන් වෙත දැනුම් දි තිබුණද දැරිය බාහිර පන්තියට ගොස් නොමැති බවට දැනට කරන ලද මුලික විමර්ෂණ වලදි අනාවරණය වි ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පාසල් දැරියගේ සිරුර සම්බන්ධයෙන් නුවරඑලිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසුව සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නානුඔය පොලිසිය සඳහන් කළේ.