වටලන ගමන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු සුරාබදු නියාමකවරයා සහ ඔහුගේ සහචරයා STF අත්අඩංගුවට

September 29, 2020 at 7:27 AM

ජාවාරම් කිරීම සඳහා මත්ද්‍රව්‍ය සැපයු සුරාබදු නිලධාරියෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොස්ගම, කලුඅග්ගල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් සිදුකළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන තිබු අතර ඔහු සන්තකයේ තිබී මැන්ඩි නම් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 653 මිලිග්‍රෑම් 380ක් සොයා ගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වෙළදපල වටිනාකම රුපියල් කෝටියක් පමණ වන අතර එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී සුරාබදු ඒකකයේ නිලධාරියා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුවට අනුයුක්ත ශ්‍රී ජයවර්ධනපුර සුරාබදු වැටලීම් ඒකකයේ සුරාබදු නියාමකවරයෙකු විසින් පසුගිය 23 වෙනිදා මෙම නිලධාරියා විසින් ජාවරම්කරුගේ නිවසට පැමිණ මැන්ඩි මත්ද්‍රව්‍ය ලබාදී ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව සුරාබදු නියාමකවරයා ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සැකකරුවන් සන්තකයේ තිබී මෝටර් රථයක්, ස්මාර්ට් ජංගම දුරකථන 05ක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිය භාරයට ගෙන ඇත.