භූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු රිමාන්ඩ් කෙරේ

September 29, 2020 at 5:08 PM

මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ දී එකම පවුලේ තිදෙනෙකුට මරු කැඳවමින් කඩා වැටුණු පස් මහල් නිවසේ හිමිකරු වන දොඩංවල නාථ දේවාලයේ හිටපු බස්නායක නිළමේවරයෙකු වූ අනුර ලෙව්කේ නමැත්තා ලබන ඔක්තෝම්බර් මස 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා පාර ප්‍රදේශයේ පසුගිය 20 වනදා අලුයම පස් මහල් ගොඩනැගිල්ලක් තවත් ගොඩනැගිල්ලක් මතට කඩා වැටීමෙන් එහි සිටි මාස එක හමාරක් වයසැති බිළිඳියක සහ ඇයගේ මව සහ පියා ජීවිතක්ෂයට පත්වුවා.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය විසින් සිදුකරනු ලැබූ දීර්ඝ විමර්ශනයකට අනුව ගිලා බසින ලද එම ගොඩනැගිල්ලේ හිමිකරු අද (29) උදෑසන මහනුවර පොලීස් ස්ථානයට කැඳවීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.