නිව් ඩයමන්ඩ් නෞකාවේ තෙල් විසිරි ඇත්තේ ලංකාවේ සශ්‍රිකම මුහුදු කලාපයට බව හෙළිවෙයි

September 28, 2020 at 7:20 AM

2015 වසරේදී කරන ලද අධ්‍යයනයක් නිරීක්ෂණය කිරීමේදී මෙරට සාරවත්ම මුහුදු කලාපය නැවෙන් තෙල් විසිරුණු ප්‍රදේශය බවට තහවුරු කර ගැනීමට හැකිවූ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහදපුර ප්‍රකාශ කර සිටිනවා.

නිව් ඩයමන්ඩ් නෞකාවෙන් පිටවූ තෙල් කිලෝමීටරයක් පමණ දුරට,කිලෝමීටර් තුනක් පමණ පළලට විහිදී තිබේ. සුළං තත්ත්වයන් සමග තෙල් තට්ටුව සාගර කලාපය තුළ තවත් ව්‍යාප්ත වෙමින් පවතී.

මෙරට සරුසාරම සමුද්‍ර කලාපයට සහ එහි ජීවත්වන සමුද්‍ර ජීවීන්ට සිදුවී තිබෙන හානිය පිළිබඳව කැලණිය,ජයවර්ධනපුර, මොරටුව යන විශ්වවිද්‍යාල ඇතුළු ආයතනවල මහාචාර්යවරු දස දෙනෙක් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවද සභාපතිවරිය සඳහන් කළා.

මෙම අධ්‍යයනයේදී එම මුහුදු කලාපයේ මත්ස්‍යයන් අල්ලා එම මත්ස්‍යයන්ගේ කරමල, බඩවැල් ආදිය නිරන්තරයෙන් නිරීක්ෂණය කෙරෙන බවත්මෙ යාකාරයෙන් එම පරිසර පද්ධතියට සිදුවූ හානිය පිළිබඳව මාස තුනක පමණ කාලයක් නිරීක්ෂණය කිරීමට නියමිත බවයි ඇය කියා සිටියේ.

මසුන්ගේ පැවැත්මට බලපාන මෙම සාගර කලාපයට දැඩි හානියක් සිදු වුවහොත් එය විශාල කාල සීමාවකට බලපෑමක් එල්ලවීමේ අවදානම් තත්ත්වයක් උද්ගතවනු ඇතැයිද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ.

මෙම කලාපයේ මත්ස්‍ය ගහනයේ අඩුවේද යන්න පිළිබඳව අවම වශයෙන් අවුරුදු දෙක තුනක් යනතුරුවත් නිරීක්ෂණය කළයුතු බවද සභාපතිවරිය සඳහන් කළා.

නිව් ඩයමන්ඩ් නෞකාව මෙරට සිට මුහුදු සැතපුම් 60 ක් පමණ දුරින් තිබෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

(මුලාශ්‍ර : අරුණ පුවත්පත)