ලබන වසරේ සිට විදේශ රටවලින් නිමි ඇඳුම් ගෙන ඒම ගැන රජයෙන් තීරණයක්

September 28, 2020 at 11:10 AM

ඉදිරි වසර තුළ විදෙස් රටවලින් නිමි ඇඳුම් ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කිරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඉදිරියේදී පරිසර විනාශය අවම කිරීමේ නව නීති රේගුලාසි ඇතුලත් ගැසට් නිවේදනයන් කිහිපයකටම අත්සන් තබා ඇති බව පැවසූ ඇමතිවරයා ලබන වසරේදී ලන්ච් ෂිට් භාවිතය සම්පුර්ණයෙන්ම අත්හිටුවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. පරිසර අමාත්‍යවරයා ලෙස තමන්ට රටේ වන විනාශය, තෙත් බිම් විනාශය, ජල මුලාශ්‍ර විනාශ වීම වැළැක්වීම සඳහා තමන්ට වගකීම පැවරී ඇති බවයි මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ.

එමෙන්ම ඉදිරියේදී විදේශ රටවලින් නිමි ඇඳුම් ගෙන ඒම සම්පුර්ණයෙන් නතර කිරීමට පියවර ගන්නා බව පැවසූ ඇමතිවරයා නිමි ඇඳුම් රට තුලම මැසිමට අවශ්‍ය පියවර ගන්නා බව කියා සිටියා. මේ හේතුවෙන් රටේ පේෂකර්මාන්තය ඇතුළු ඇගලුම් කර්මාන්තය නගා සිටුවීම අභිප්‍රාය වන බවයි ඔහු සඳහන් කළේ.

හම්බන්තොට ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියා.