එකට දේශපාලනය කළා කියලා මෛත්‍රීපාල සිරිසේනට පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් ගැලවෙන්න දෙන්න බැහැ : අනිවාර්යෙන්ම දඬුවම් කරන්න ඕන – ඇමති ප්‍රසන්න කියයි

September 28, 2020 at 11:22 AM

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයට වගකිව යුතු බවට පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බලන කොමිසම හමුවේ තහවුරු වුවහොත් ඔහුට අනිවාර්යෙන්ම දඩුවම් දිය යුතු බව ඇමති ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කර සිටිනවා.

මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුවේ එල්ලුණ පමණින් ඔහු ශුද්ධවන්තයෙකු නොවන බවත් ඔහු ආණ්ඩුවට එකතු වුණේ තමන්ගේම බේරීම සදහාම පමණක්ම බව පැවසූ අමාත්‍යවරයා එක්ව දේශපාලනය කළ පමණින්ම ඔහුට ගැළවීමට හැකියාවක් නැතැයි ද අවධාරණය කර සිටියා.

මහනුවර දී ඊයේ (27) පැවති උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතිමින් ඇමතිවරයා මේ බව සදහන් කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා මෙසේ ප්‍රකාශ කළා,

“පාස්කු ප්‍රහාරය පිළිබදව සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ පසුගිය ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අනුගමනය කළ නිද්‍රාශීලි පිළිවෙත දැන් හෙළිදරව් වෙමින් තිබෙනවා. පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපතිවරයා වගකිව යුතු බව මේ කොමිසමේ දී තහවුරු වු‍ණොත් ඔහුට අනිවාර්යෙන්ම දඩුවම් දිය යුතුයි. අපි එකට දේශපාලනය කළා කියලා ආණ්ඩුවේ හිටියා කියලා ඔහුට ගැලවෙන්න ඉඩ දෙන්න බැහැ.

මේ රටට කරපු විනාශයට වගකිව යුතු ප්‍රධාන කෙනෙක් තමයි මෛත්‍රිපාල සිරිසේන කියන්නේ. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනවිත් මේ රට අරාජික කිරීමේ වගකීම ද ගත යුත්තේ ඔහුයි. දැන් 19 ගෙනාවේ මම නෙමෙයි කිවුවාට ඔහුට ගැළවීමක් නෑ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වගේම 19 ගෙනල්ලා මේ රටට කළ විනාශයේ පාපයෙනුත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට කිසිදා ගැලවිය නොහැකියි.

ඔය 19 හරහා ආපු ස්වාධින යැයි කියාගන්නා ස්වාධීන කොම්සම් සභා ඇත්තටම ස්වාධින නෑ. ඒවායේ නියෝජිතයෝ පත් කලේ දේශපාලන පක්ෂ හරහා. එහෙම පත් කරපු අය කටයුතු කළේ ඔවුන්ගේ දේශපාලන පක්ෂවල වුවමනාවන් ඉටු කරගන්න. එහෙම නැතිනම් NGO ඩොලර් කාක්කන්ගේ වුවමනාව ඉටු කරන්න. ඒ නිසා ස්වාධින කොමිසම් සභා හරියට ක්‍රියාත්මක වුණේ නෑ. විපක්ෂයට ඕනේ 19 රැකගන්න. 19 තිබුණොත් ජනාධිපතිටත්, අගමැතිටත් වැඩ කරන්න බැරි වෙනවා. තව තවත් රට අරාජික වෙනවා. අපි හදන්නේ ආණ්ඩුවට තුනෙන් දෙකක බලය ලබාදුන් ජනතාවගේ උවමනාව ඉටු කරන්න.

සුළුතරයක් වෙන විපක්ෂයේ බලාපොරොත්තු ඉටු කරන්න සුලුතරයක් වන අපිට අවශ්‍ය නෑ. ඒ නිසා 19 අනිවාර්යෙන්ම අහෝසි කරනවා. අලුත් ව්‍යවස්ථාවක් ගේනවා යැයි මෙහිදී ඇමතිවරයා කියා සිටියා.