අබාධිත තත්ත්වය බාධාවක් නොවන අයට ඉදිරියේදී රියදුරු බලපත්‍ර දෙන්න යයි

September 28, 2020 at 9:00 AM

රිය පැදවීම සඳහා ආබාධිත තත්ත්වය බාධාවක් නොවන අයට රියැදුරු බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

ආබාධිත තත්ත්වයන් යටතේ වුවද ඔටෝ ගියර් පද්ධති සහිත වාහන පැදවීමේ හැකියාව බොහෝ පිරිසකට තිබෙන බවත් ඔවුන්ට වාණිජ නොවන කාණ්ඩය යටතේ රියැදුරු බලපත්‍රයක් ලබා දීම කෙරෙහි අවධානය යොමුව තිබෙන බවයි මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

රජයේ සේවකයන්ට මහින්ද රාජපක්ෂ මහතා ජනපති සමයේ ලබා දුන් යතුරු පැදිවල අයිතිය ඔවුන්ගේ නමට පැවරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙන වැඩසටහන් මාලාවේ දෙවැන්න පෙරේදා (26) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එම අවස්ථාවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

මහනුවර දිස්ත්‍රික්කයේ යතුරු පැදි ලබාගත් 8000 කට මෙහි දී එම යතුරු පැදිවල හිමිකම ලබා දීම සිදු කෙරුණා.

කිසිදු ආබාධයක් නොමැතිව මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන අයෙකු රියැදුරු වෘත්තියේ නිරතව නොසිටියත් ඔහුට හෝ ඇයට වාණිජ කාණ්ඩයට අයත් රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාව තිබෙන බවද රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියා.

කන්ටේනරයක් පදවන අයෙකුට රියැදුරු බලපත්‍රය ලබා දීමේ දී පැවතිය යුතු සෞඛ්‍ය මට්ටම කුඩා කාර් රථයක් පදවන අයටද එලෙසින්ම තිබිය යුතු බවත් මෙම ක්‍රමය සංශෝධනය විය යුතු බවත් හෙතෙම අවධාරණය කළේ.

වාහන ලියාපදිංචිය හා පැවරීම ලබන වසර ආරම්භ වීමට පෙර දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් කර ගැනීම හැකි ආකාරයට පහසුකම් වැඩිදියුණු කරන බවත් ඉන් පසු එය ක්‍රමානුකූලව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා ගෙන එන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

මේ වන විට අදාළ පහසුකම ඇත්තේ දිස්ත්‍රික්ක පහක පමණක් බවත් ලබන වසර මුල වන විට මෙරට සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් වාහන ලියාපදිංචිය හා පැවරීම කර ගත හැකි වනු ඇති බව ඔහු සඳහන් කළා.