ලංකාවට එවූ අපද්‍රව්‍ය පිරවූ කන්ටේනර් 21ක් යලි බ්‍රිතාන්‍යයට හරවා යවයි

September 27, 2020 at 11:47 AM

කසළ අඩංගු කන්ටේනර් 21ක් යළි එංගලන්තයට හරවා යැවීමට පියවර ගත් රේගු දෙපාර්තමේන්තුව පවසනවා. නීතිපති උපදෙස් අනුව මෙම පියවර ගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න ප්‍රකාශ කළේ.

2017 වසරේ බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට කසළ අඩංගු කන්ටේනර් තොගයක් ආනයනය කර තිබුණි. ඒ, 2013 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනයක් භාවිත කරමින්.

භාවිත කළ මෙට්ට තොගයක් බව ප්‍රකාශ කරමින් ගෙන්වූ මෙම කන්ටේනර්වල තිබී කාපට්, ප්ලාස්ටික් හා පොලිතීන් වැනි දෑ සොයාගත් බව රේගුව සඳහන් කර සිටියි.

දැනට අපද්‍රව්‍ය බහාලුම් 242ක් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගෙන ඇති අතර ඉන් බහාලුම් 112ක් කොළඹ වරාය පරිශ්‍රයේ පවතී. තවත් බහාලුම් 130ක් කටුනායක ආයෝජන කළාපයේ වෙත නිෂ්කාශනය කරගෙන ගොස් එහි තබා ඇත.