රටේ ලියාපදිංචි නොකරන ලද වාහන ඇත්තේ 3000ක් පමණයි : උග්‍ර වාහන හිඟයක් ඇති බව ආනයනකරුවන් පවසයි

September 27, 2020 at 11:34 PM

මෝටර් රථ ආනයනය නතර කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් වෙළඳපොළේ උග්‍ර වාහන හිඟයක් පවතින බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් පවසනවා. වාහන අළෙවි අංගනවල මේ වනවිට ලියාපදිංචි නොකල වාහන 3000 ක් වත් නොමැති බවයි ඔහු සඳහන් කළේ.

ඇතැම් වාහන අංගන තුළ වාහන දෙක තුන වශයෙන් පමණක් ඉතිරිව ඇති බවත් ඉල්ලුම අනුව සැපයුම නොමැතිවීම හේතුවෙන් එම වාහන සඳහා සම්මත මිලක් නොමැති බවත් ඔහු කියා සිටියේ.

ජනතාව වැඩි වශයෙන් මිලදී ගනු ලබන සුසුකි වැගන් ආර්, ටොයටා පැසෝ, ටොයටා විට්ස්,  සී. එච්. ආර්,වෙසල්, ග්‍රේස් රථ වෙළදපොල තුළ උග්‍ර හිඟයක් පවතින බවද වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළේ.

ටොයටා ඇක්සියෝ, ටොයටා ප්‍රිමියෝ, ටොයටා රයිස් ආදී මෝටර් රථ කිහිපයක් පමණක් වාහන අංගන තුළ පවතින බවත් එම වාහන මිලද විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයිද ඔහු සඳහන් කළේ.

ඒ අනුව ටොයටා ඇක්සියෝ රථයක් රුපියල් ලක්ෂ 79කට වඩා වැඩි මුදලකටත්, ටොයටා ප්‍රිමියෝ රථයක් රුපියල් ලක්ෂ 100 කට වැඩි මුදලකටත්, ටොයටා රයිස් රථයක් රුපියල් ලක්ෂ 80 කට වැඩි මුදලකටත් අළෙවි වන බවද ඔහු සඳහන් කළා.

මෝටර් රථ ආනයනය කිරීමට රජය අවසර ලබා නොදීම හේතුවෙන් සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකිව, බැංකු ණය ගෙවීමට නොහැකිය වාහන අළෙවිකරුවන් විශාල මූල්‍ය අර්බුදයකට පත්ව ඇතැයිද ඔහු පැවසුවේ.

මේ හේතුවෙන් වාහන අළෙවිසැල් විශාල සංඛ්‍යාවක් වැසී ගොස් ඇතැයිද පැවසූ ඔහු මේ සම්බන්ධයෙන් රජයෙන් සහනයක් බලාපොරොත්තු වන බවද සඳහන් කළා.

මෝටර් රථ ආනයනය කිරීමට රජය අවසර ලබාදුන්නත් වාහන ගෙන්වා ගැනීම සඳහා තවත් මාස තුනක පමණ කාලයක්වත් ගතවනු ඇතැයිද ඔහු කියා සිටියා.

මෝටර් රථ ආනයනය නතර කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් ලියාපදංචි කළ වාහන මිලද සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

කොරෝනා වයිරසය ව්‍යාප්තිය සමඟ ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ මෝටර් රථ ආනයනය කිරීම ඉකුත් මාර්තු 19 වැනිදා සිට අත්හිටුවීමට රජය පියවර ගනු ලැබුවා.