මම දෙපාරක් සියදිවි නසා ගන්න උත්සහ කළා : HIV ආසාදනය වූ ශ්‍රියාල් කතා කරයි (VIDEO)

September 27, 2020 at 8:18 PM

HIV වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයෙකුට අන් අයගේ ජීවිතය වෙනස් කිරීමට හැකියාව පවතින බව එම වෛරසය ආසාදනය වී වසර 07ක කාලයක් පුරා දිවි ගෙවන තරුණයෙක් වන ශ්‍රියාල් නිලංක ප්‍රකාශ කර සිටිනවා.

2013 වසරේදී වයස අවුරුදු 23ක් වන විට තමන්ට HIV වෛරසය ආසාදනය වී ඇති බවට පළමුවෙන් දැන ගත් අවස්ථාවේදී ලබා තිබු දැනුමට වඩා දැනුමක් මේ වන විට තමන්ට ඇති බවත් ඒ මගින් සමාජයේ ජිවත් වන ජනතාවට දැනුම් දීමට හැකියාව ලැබූ බවයි Hari TV යුටියුබ් නාලිකාව සමග සම්මුඛ සාකච්ජාවට එක්වෙමින් ඔහු කියා සිටියේ.

ශ්‍රී ලංකාව තුල HIV වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 3600ක් පමණ පිරිසක් සිටින බවත් එයින් 2000 කට ආසන්න පිරිසක් තමන්ට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන සිටින බවත් සෙසු පිරිස එම වෛරසය ආසාදනය වී ඇති බවට නොදැන කටයුතු කරන බවයි සමාජ ක්‍රියාකාරීයෙකු වන ශ්‍රියාල් නිලංක සඳහන් කළේ.

තමන්ට එම වෛරසය ආසාදනය වී ඇති බවට පළමුවෙන් දැන ගත් අවස්ථාවේදී එය දෙමාපියන්ට පැවසූ අවස්ථාවේදී තමන්ගේ අම්මා හැඩු අයුරු සිහිවෙන බව පැවසූ ඔහු අවස්ථා දෙකකදී තමන් සියදිවි නසා ගැනීමට උත්සහ කලත් පසුව මනෝ උපදේශන සේවාවන් හරහා ඉන් මිදීමට හැකිවූ බව ඔහු කියා සිටියා.

මෙරට සමාජය තුල HIV ආසාදනය වීමේ වැඩි ඉඩ කඩක් ඇති ප්‍රමාණය පිරිමි පුද්ගලයින් අතර සිදුවන සමලිංගික සේවනය හරහා වන බවට තොරතුරු ලැබී ඇති බව පැවසූ ඔහු කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කය තුල මෙය බහුලව දැකීමට හැකියාව ලැබූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකාව තුල සමලිංගික සේවයනය නීතිමය වශයෙන් දඬුවම් ලැබෙන වරදක් බැවින් මෙම රෝගය සම්බන්ධයෙන් සිදුවන වෛද්‍ය පරීක්ෂණ වලදී එම කරුණු හෙළි නොවීමේ හැකියාව වැඩි බවයි ශ්‍රීයාල් නිලංක සඳහන් කළේ.

HIV වෛරසය පාලනය කිරීමට මෙරට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ හැකියාව පවතින බවත් රටේ සමලිංගික සේවනයේ යෙදෙන පිරිස් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම රජයේ වගකීම බවද ඔහු මෙහිදී කියා සිටියේ.